Sunday, January 14, 2018

Hima Diyawee Himalaye - Amarasiri Peiris | Story behind the Sinhala songs

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

ගායනය : අමරසිරි පීරිස් සමඟින් වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා








සුභාවිත ගීත සාහිත්‍යයේ ඇති ගීත අතලොස්ස අතුරින් ඉතා අලංකාර ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැක. සුභාවිත ගීතයේ ඇති විශේෂත්වය නම් සංගීතය ඉතා මිහිරිය. ශ්‍රවණයෙන් රෝග පවා සුව කළ හැක. අරුත ඉතා ගැඹුරුය. රසිකයා වෙත කෙලින්ම ඉදිරිපත් නොකරයි. භාව රසයද ඉතා ඉහළය. හිම දියවී හිමාලයේ, ගීතයට හඬ මුසු කරන්නේ ගායන ශිල්පී අමරසිරි පීරිස් සමඟින් ශිල්පිනී වසන්තා තිලකාංගනීය. එතරම් ජනතාව අතරට නොගියද අර්ථ, භාව රසය ප්‍රිය කරනා රසිකයන්ගේ හද බැඳගත් ගීතයකි.


සදාතනික ආදරවන්තයන් වූ රාධා සහ ක්‍රිෂ්ණා යොදා ගනිමින් ප්‍රේමයේ හිනිපෙත්තටම නැග ශුංගාරය පිළිබඳ ඉදිරිපත් කරයි. රාධා සහ ක්‍රිෂ්ණා යනු ඉන්දියානු දේව සංකල්පයක් බැවින් හිමාලයද යොදා ගෙන ඇත. නමුත් ඒ උපමා සඳහා පමණි. මේ ගීතයට සවන් දෙන ඔබ විසින් චිත්ත රූප මවා ගත යුතුය.

හිම දියවී හිමාලයේ

යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

අප කවුරුත් දන්නා පරිදි හිමාල කඳු වැටිය හිමෙන් වැසුනු ශිඛරයන්ගෙන් පිරි ඉතා සිත් ඇද ගන්නා දසුනකි. යමුනා ගඟේ ආරම්භය හිමාලය බැවින් දිය වන හිම යමුනා ගඟේ ජල ප්‍රවාහය වර්ධනය කරයි. ඉන් අලංකාරවත් රළ පෙළක් දැකිය හැකිය. හිම දිය වන්නේ කුමක් නිසාද. උණුසුම නිසාය. රාධා සහ ක්‍රිෂ්ණාද ප්‍රේමයෙන් මත් වී උණුසුම් වී ඇති බව ව්‍යංගයෙන් අපට කියාපායි. යමුනා ගඟ අසබඩ ඇති ගල් තලාවක් මත වැතිර සිටින ඔවුන් දෙදෙනාට ගලින් ගල වැදී විසිරී සුදු පෙණ කැටි විසිරෙන අයුරු පෙනෙන අතර දසතින් හමා එන සීත සුළං රැල්ල ගත හිරිවට්ටමින් ඇදී යයි. රාධා ක්‍රිෂ්ණාගෙන් අසන්නේ මේ සීතල උනුසුමකටම පෙරලෙන්න බැරිද කියාය. එනම් මේ සීතල නිසාම රාගික හැඟීම් ඔබේ සිතට නොඑන්නේද යන්නයි.

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..


හදවතේ ඇති සතුට කෙතරම්දයත් සිනා රැළි නගමින් උතුරා යන ඇගේ වත සහ ගත නීල ජලාශයක් මෙන් ඒ මේ අත ඇඹරෙයි. ඇගේ ළැම චලනය වන්නේ ඒ රැළි නඟනා නීල ජලාශයේ පිහිනා  යන ස්වර්ණ හංසයන් මෙන්ය. ඇත්තෙන්ම දුටු පමණින් සිත තුළ රාගය උතුරා යවන්නා වූ මේ ස්වර්ණ හංසයන් යුගල මෙතරම් අකීකරුද. ඉන් පෙන්වන්නේ ඇගේ ලැම කෙතරම් සිත ආකර්ෂණය කරන්නා වූ අපූරු දසුනක්ද යන්නයි.

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

ඉඩ දී දෙන්නට දඩුවම්, යනුවෙන් ව්‍යංගයෙන් පවසන්නේ, මාගේ ලැම හංසයන්ට ඔබ කැමති ඕනෑම දඬුවමක් දීමට නැති නම් රිසි සේ හැසිරවීමට ඉඩ දී දෑස පියාගෙන ඒ සුව විඳීමට සූදානම් බවය.

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..

ඔහු ඇය මත වැතිර සිටියි. එය හැඟවීමට යොදාගෙන ඇත්තේ මල් පෙති පොඩි වී ඇති බවය. මල් පෙති පොඩි වී ඇත්තේ දෙදෙනාගේ සිරුරු දෙකට මැදි වීමෙනි. මේ යහන් තලාවේ සුවසේ වැතිර සිටින ඔවුනට හැඟෙන්නේ සඳ එළිය දිය දහරාවක් සේ මැණික් වට්ටියකට වැටී දිලිසෙන්නාක් මෙනි. ඇත්තෙන්ම ඒ කුමක්ද. සඳ එළිය වැටී මිණි මෙන් දිලිසෙන්නේ ඇගේ ශෝභමාන ගතයි. ඉන් මත් වන ක්‍රිෂ්ණාගේ දෑස් මත් වී නිලංකාර වී යයි.

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..


මිණි කැට ඉතා වටින්නේය. මිණි දුටු කල එය හැර යන්නේ කවරෙක්ද. මිණිකැට ගිලිහි ගියද සිත වෙනස් නොකර මත් වූ ලෝකයේ අප දෙදෙනා පීනා යමු. ඇත්තෙන්ම ඔවුන් රාගයේ උපරිම තලයට පැමිණ ඇත. ඒ උපරිම සුවය විඳිමින් මා දෑස වසාගෙන ඔබේ පහස මෙසේ විඳින්නම්.


Source

1 comment:

  1. සද දය මිනිමෙව්ලට වැටිලා කියන්නේ මනිමේකලාවට හද එලිය වැටිලා ඒක පරාවර්තනය වෙලා ක්‍රිශ්නා ගේ ඇස් වලට වැදිලා කියන එකයි

    ReplyDelete