Tuesday, April 16, 2013

Mihirathi Wasantha Kale - Shelton Premarathne | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4

මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෝද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ



ප්‍රේමය අපට දිව්‍ය ලෝකයේ දොරටු විවර කරන විට වියෝගය, මරණයේ ගැඹුරු අඳුර තුළ අප වළ දමයි. නිමේෂයක් පාසා තියුණු සැතකින් අනින්නාක් බඳු වු වේදනාවන් දෙමින් බැඳීම්වල කටුක බව පසක් කරවයි. ගැඹුරු ආදරය අත්පත් කර ගත්තෝ සිය ආත්මවල ගැඹුරින්ම සංහිඳියාව ස්පර්ශ කරන විට එසේ නොහැකි වූවෝ සිය ලාලසාවන් වෙනුවෙන් ද ස්මරණයන් වෙනුවෙන් ද වැළපෙති. ඒ වැළපුමෙහි කඳුළු සිය පන්හි‍ඳෙහි තවරන ප්‍රේමකීර්ති ද අල්විස් තවමත් නො ආ වසන්තය, වරක් හිමි වි සඳහට ම අහිමි වූ ඒ වසන්තය අමතන්නේ මෙසේ ය.

‘මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ’


සිය ඇඟිලි අතරින් ගිලිහි ගිය වසන්තය ද එහි මතකයන් ද ස්මරණය කරමින් හදවතින් ගිලානව වැළපෙන පෙම්වතෙකු තම හිස් බව වදනවලින් සිත්තම් කරන්නේ එසේය. ෂෙල්ටන් පෙරේරා සතු අසහාය කට හඬින් පණ ලැබූ මේ ශෝකයේ ගීතය 60, 70 දශකයේ තාරුණ්‍යය ද එතැනින් නොනැවතී 21 සියවසේ සියලු පරම්පරාවන් ද ස්පර්ශ කරන්නේ ඒ සතු සජීවී බව නිසාම ය.


''සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ''


වියෝගය තුළින් අහිමි කරන ලද මිහිර පතා ඔහු වැළපෙයි. 
ඉදින් මේ ප්‍රේමය නම් වන සාර්වත්‍රික ප්‍රපංචය සැමෙකෙකුගේම ජීවිතවල යුගයක් නියෝජනය කරයි. ඒවා හුදු නිමේෂයන් නොවී ඔවුන් පෙර නොසිටි මිනිසුන් හා ගැහැණුන් බවට පත් කරයි.

"දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ ..."


ගීතයේ ස්ථායි කොටස සහ පළමු අන්තරා කොටසට වඩා ඉහළ ස්වර පරාසයකින් ගැයෙන්නේ වේදනාව තීව්ර කරමිනි. අතීතය යනු යනු ම සොයමින් සොයමින් ගෙවා දැමූ නිමේෂයන් හි එකතුවකි. එතෙකුදු එය වසන්තය ම විය.

ඒ වසත්කල ගෙවෙද්දී නිම වූයේ හිරු බඳුව සඳු බඳුව තාරකාවක් බඳුව ‘උදාවූ ‘ සෙනෙහසකි.

සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ ...


ගීතයේ අපූර්වත ම තැන ද පරිපාකය ද මෙයයි.

‘යම් තැනකදී අපි හැම කෙනෙක් ම කඳුළු අතරින් මෙසේ පවසා ඇත්තෙමු. "මං ආදරය වෙනුවෙන් ඒකට නොසෑහෙන තරම් විඳවල තියෙනව"මෙසේ අපට ලැබෙනවාට වඩා වැඩිපුර අප විසින් දෙන බව අපට හැ‍ඟෙන නිසාවෙන් අපි විඳවන්නෙමු. ....

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය සහ සංගීතය: ෂෙල්ටන් පෙරේරා


Source : Nobody's Edge 

3 comments:

  1. මම ඉතාම ආසකරන ගීතයක්. පාලුවෙ නිස්කලංක වෙලාවක මේ ගීතය අහනකොට හිතට අමුතුම මිහිරක් දැනෙනවා.

    ෂෙල්ටන් පෙරේරා මහත්මයාගෙ ගීත කොහොමත් අහන් ඉනන් ආස හිතෙනවා. ‘මවකගෙ උණුසුම නොලබා‘ ගීතයත් මම ඔහුගෙ කැමති ගීත අතරින් උඩින්ම තියෙනවා.

    ReplyDelete
  2. දාලා තියෙන පින්තූරය ෂෙල්⁣ටන් ප්‍රේමරත්නයන්ගේ නේද? මේ ගීතය ෂෙල්ටන් පෙරේරා මහතාගේ. ඒ දෙන්නා දෙන්නෙක්

    ReplyDelete
  3. විරහ වේදනාව තලු මර මර රස කරනවා.ඉතාමත් රසවත්.

    ReplyDelete