Tuesday, March 12, 2013

Lowama Epa Wee - Nanda Malani

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ...
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...


අසා අසෝබන නින්දා ගැරහුම්
වැළහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ


ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුණු සිත උණුසුම් වේ....
 
 

ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා
ගායනය : විශාරද නන්දා මාලිනි





අපි හැම කෙනෙක්‌ම අසරණ වන අවස්‌ථා තියෙනවා. ඒ වෙලාවට වචනයකින් හරි අප සනසන කෙනෙක්‌ ඇත්නම්. එය අපට කෙතරම් සුවයක්‌ද.......

කෙනකුට තවත් කෙනකුගේ ආදරය වැඩියෙන්ම දැනෙන්නේ ඔහු හෝ ඈ අසරණ වූ මොහොතකයි.

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ...
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...

ඇයට ලෝකයම එපා වෙලා. කල කිරිලා දුකෙන් තැවෙනවා. හදවත ගිනිගෙන දැවෙනවා. ඒ මොහොතේදී ඇගේ ආත්මයට සිසිලසක්‌ වෙන්නේ දයාබරව ඔහුගෙන් ලැබෙන එකම එක වදනකින්......

මේ ගීය ලියුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්...... ඒ සත්‍ය සිදුවීමක්‌ ඇසුරෙන්.

මේකට පාදක වුණේ මා දන්නා චරිතයක්‌. ඇගේ ආදරවන්තයා ඇයට පරිභව කරලා.... බොරු චෝදනා පත්‍රයක්‌ දීලා පලා ගිහින්. ඇත්තටම ඈ නිවැරැදියි. නොකළ වරදකට තමයි පෙම්වතා චෝදනා කරන්නේ. ඇය අසරණයි. මා ඇගෙන් බොහෝ දේ විමසුවා. මට ලෝකයම එපාවෙලා. හැම දෙයක්‌ ගැනම කල කිරිලා. ජිවත් වෙනවාට වඩා හොඳයි දිවි නසා ගන්නවා කියා ඇය කිව්වා. ඒත් මේ අතරතුරේදී ඇය වෙතට තුන්වැන්නෙක්‌ ළඟා වෙනවා. ඔහුගේ වදන් අසරණවූ ඇයගේ ජීවිතයට ඔසු පැන්වගේ.....

අසා අසෝබන නින්දා ගැරහුම්
වැළහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ

ඇයට අපමණ නින්දා ගැරහුම් එනවා. ඒවා හරිම අසෝබනයි. ඉන් කලකිරුණ ඕ වැලපෙන්නේ වැළහින්නක්‌ වගේ...... මේ තුන්වැන්නාගේ සුසුම් වදන් හරියට සුළඟේ පාවී එන සුවඳක්‌ වගෙයි දැනෙන්නේ. එය පිපාසාවෙන් පෙළෙන හදවතට සිසිල් සුවයක්‌.

අසරණව ඇය නින්දා අපහාස වේදනා ලබද්දී ඇය වෙත එන තුන්වැන්නාගෙන් ලැබෙන සෙනෙහෙබර වදන් විතරක්‌ නොවේ ඔහුගේ රූපය දැකීම පවා ඇයට ජීවත් වීමට ශක්‌තියක්‌ ලබා දෙනවා. මේ ගීය වර්තමාන පරපුරට වඩා පෙර පරපුර අතර බොහෝ සේ ජනප්‍රිය වුණා සමීප වුණා. ඒකට හේතුව වුණේ ස්‌ත්‍රී පාර්ශ්වයට මේ ගීතය පොදු වීමයි. පෙම්වතාගෙන් සැමියාගෙන් මෙවන් පරිභවයකට ලක්‌ වූ ස්‌ත්‍රීන් අසරණ වූ පසුව මේ ගීය තමන්ටම ආදේශ කර ගත්තා. ඒ ගී පද රචකයාගේ අදහස්‌.

ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුණු සිත උණුසුම් වේ....

මිනිසත්කම නොලැබූවන් නගනා රැවුම් ගෙරවුම් නිසා ඕ බියපත් වූයේ හරියට මුවැත්තියක්‌ වගේ. ඒ මොහොතේදී ඔහු ඈ වෙත පැමිණෙනවා. ඔහුගෙන් නික්‌මෙන සුසුමක්‌ පවා ඇයට දිව ඔසුවක්‌.... අසරණව සිටින ඈට. ඒ සුසුම උණුසුම් බවත් ගෙන දෙනවා. ඇත්තෙන්ම ඔහුගේ උණුසුම ඇයට මහමෙරක්‌ තරමට වටිනවා.

නන්දා මාලිනියට තිබෙන්නේ ශෝකී ස්‌වරයක්‌. කෙතරම් වේග රිද්ම ගීත ගැයුවත්, ප්‍රීතිය දනවන ගී ගැයුවත් ඒ හැම ගීතයක්‌ හරහාම ඇගේ ශෝකී ස්‌වරය මතුව එනවා. මේ ගීතයේදී මර්වින් පෙරේරා ඇගේ ඒ ශෝකී ස්‌වරයෙන් ප්‍රයෝජනයක්‌ ගත්තා. මහැදුරු සුනිලුත් එසේ පවසනවා.

ඇත්තෙන්ම මේ ගීයෙන් කියෑවෙන්නේ ගැඹුරු අත්දැකීමක්‌ නොවේ. එය සුලබ සිදුවීමක්‌. ඒත් ඒ සුලබ අත්දැකීම සුනිල් ආරියරත්නයන් අතින් ඉතාමත්ම අනුවේදනීය ලෙස පද පෙළක්‌ ලෙස ගෙත්තම් වී තිබෙනවා. කොතරම් සුලබ අත්දැකීමක්‌ වුවත් එය හෘදයාංගම ලෙස කවියට නැගුනොත් ඉන් මතුව එන්නේ දුර්ලභ රසයක්‌මයි. ඒ බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ගීය තුළින් මනාව සනාථ කරනවා.






Source:
  

1 comment:

  1. niyamai me blog eka update karanna.plsss

    ReplyDelete