Tuesday, April 16, 2013

Oba Ma Hamuwu awasan Dine - Keerthi Pasquel | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4

ඔබ මා හමු වූ අවසන් දිනේ
තාම මා සිතේ රැඳී තියේ
කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ
ආදරේක වේදනා දැනේ
කොතරම් දවසක්‌ මා ඉන්නදො
මේ වගේ දුකක්‌ සිතේ දරා
සුළඟේ සැඟවී මා යන්නදො
මාගේ ප්‍රියා වී සොයා...

මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා
මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා
මට හොරා වගේ මගේ සිත කොහේ ගියා
මාව හැරදමා මසිත ඔබ සොයා ගියා
අඩ අඳුරේ සිත වැළපේ
සිහිවී ඔබේ ආදරේ...

වැලුකා තලේ සිත දිය බිඳක්‌ වගේ
ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ
මාසිතේ පුරා සුමුදු සිසිලසක්‌ දැනේ
ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ
අඩ අඳුරේ සිත වැළපේ
සිහිවී ඔබේ ආදරේ...

පෙම්වතුන්ගේ හිත්වල ඔවුනොවුන් ගැන මැවෙන ආදරය... ප්‍රේමාන්විත සිතිවිලි... අනන්තයි.... අප්‍රමාණයි.... එකිනෙකා නොදැක ඉන්න කාලය තුළදී ඉපදෙන ආදර හැඟුම්.. තවත් ඉහළයි.... මේ වෙන්ව සිටිනා කාලය මාසයක්‌... අවුරුද්දක්‌... දෙකක්‌ නම්... හිතන්නත් අමාරුයි... ඇය ගැන... ඔහු ගැන ඇතිවන ආදරය වගේම හිත් තුළ ජනිත වන දුක... ඒත් ඒ දෙදෙනා හමුවෙන තුරාවට විතරයි... ඒ දුක ඉන්පස්‌සේ සතුටක්‌... ආදරය... මිහිර... නිම්හිම් නැහැ....

ඔබ මා හමු වූ අවසන් දිනේ
තාම මා සිතේ රැඳී තියේ
කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ
ආදරේක වේදනා දැනේ
කොතරම් දවසක්‌ මා ඉන්නදො
මේ වගේ දුකක්‌ සිතේ දරා
සුළඟේ සැඟවී මා යන්නදො
මාගේ ප්‍රියා වී සොයා

මේ පෙම්වතාගෙන් සමුඅරගෙන පෙම්වතිය කොහේදො ගිහිං... ඒත් ඒ ටික කාලෙකට... ඔහුට ඈ හමුවූ අවසන් දිනය තවමත් මතකයි... ඇගේ දෙනෙත් කඳුළින් තෙත්වෙලා. ඒ කඳුළු පිරි දෙනෙත් තුළින් ඔහු දැක්‌කේ ආදරේ වේදනාවයි... දෙයියනේ.. මේ දුක දරාගෙන මම කොතරම් කාලයක්‌ ඉවසන්නද... මේ හමන සුළඟේ සැඟවිලා... ඈ සොයා යන්න ඇත්නම්... මේ පෙම්වතාගේ සිතිවිලි ඒ විදිහට උපදිනවා...

ගීය ලියුවේ ඩොනල්ඩ් අයිවන්.. ඒත් අද මේ සොඳුරු ගී පද රචකයා අප සමඟ නැහැ... ඔහු අප අතහැර ගිහින්... සදහටම දෙනෙත් පියාගෙන.. ගීය ගයන්නේ අපේ ගායන ලොවේ ළයාන්විතයා.. කීර්ති පැස්‌කුවෙල්...

මම රෙකෝඩිං වලට ප්ලේ කරද්දී ජෝනෙත් ශබ්දාගාරයේ හැමදාම මා වෙනුවෙනුත් ගීතයක්‌ නොමිලේ රෙකෝඩ් කළා... මගේ සිංදු හුඟක්‌ ඒ විදිහට හැදුනේ... මේ ගීයත් එවැන්නක්‌. එදා අපි රූකාන්තට සිංදු රෙකෝඩ් කරමින් හිටියා. ඩොනල්ඩ් අයිවන් තමයි රෙකෝඩිං ඉන්ජිනියර්. දවසක්‌ රූකාන්තගේ රෙකෝඩිං කරද්දී ඩොනල්ඩ් මටත් සිංදුවක්‌ ලියුවා. රූකාන්ත තනුව නිර්මාණය කළා. ඒත් රෙකෝඩිං රෑ 9.30 ට පෙර කළ යුතුයි. ජෝනෙත් ශබ්දාගාරය ආගමික සිද්ධස්‌ථානයක තියෙන නිසා...මගේ සිංදුව කරන්න වෙලාව නෑ... අපි ගිහිං පියතුමා හමුවුනා. බෙනඩික්‌ට්‌ ජෝෂප් පියතුමා... ඩොනල්ඩ් අඬලා වගේ කිව්වා... අපිට තව පැයක්‌ දෙන්න ෆාදර්.. කියලා. පියතුමා පැය එකහමාරක්‌ දුන්නා... ඔබ මා හමුවූ... ගීය එදා රෑ එකොළහ වෙනතුරු රෙකෝඩ් කළා.

මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා
මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා
මට හොරා වගේ මගේ සිත කොහේ ගියා
මාව හැරදමා මසිත ඔබ සොයා ගියා
අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ

මේ නගරයේ ඉන්න රෑ කුමරියන් හොයාගෙන... මගේ මිතුරන් යනවා.. ඒත් මට... මේ අභිසාරිකාවන් සොයා යන්න හිතක්‌ නැහැ... කවුරු හිටියත් මට වැඩක්‌ නැහැ.. මගේ හිත තියෙන්නේ ඔයා ළඟ... අන්ධකාරය ගලාගෙන එනවා.. ඔයාව සිහිවෙලා මගේ හිත වැළපෙනවා... මටත් හොරා මගේ හිත ඇදී යන්නේ ඔබ සොයා මිස වෙනත් අඟනුන් කරා නොවේ... මේ පෙම්වතා කල්පනා ලොවක තනිවෙලා...

මේ ගීය නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. රූපවාහිනියේ හද බැඳි ගීවලට රූප රචනාවක්‌ එක්‌ක සිංදුව ප්‍රචාරය වුණාම අතිශය ජනප්‍රිය වුණා. රූප රචනා කළේ රබර් වත්තක.. රබර් වත්තේ සිංදුව කියල තමයි හුඟක්‌ දෙනා ඒ දවස්‌වල කිව්වේ.. මම මේ ගීය ගැයුවේ වාදකයෙක්‌ වෙලා හිටිය කාලෙදි.. මම අතිශය ජනප්‍රිය වුණා මේ ගීතයෙන්... මේ ක්‍ෂේත්‍රය තුළ මා ර¹ පවතින ගීත කිහිපය අතරින් එකක්‌ තමයි ඩොනල්ඩ් ලියූ මේ ගීතය..

වාලුකා තලේ සීත දිය බිඳක්‌ වගේ
ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ
මා සිතේ පුරා සුමුදු සිසිලසක්‌ දැනේ
ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ
අඩ අඳුරේ සිත වැළපේ
සිහිවී ඔබේ ආදරේ...

ඈතින් ඈත.. ඉම නොපෙනෙනා සිතිජ රේඛාව මතින් මට මැවී පෙනෙන්නේ ඔයාගේ රූපයයි... ඒ රුව දකිද්දී හරියට රුදුරු කතරක සිටින කෙනෙක්‌ට සීතල දිය බිඳක්‌ ලැබුණා වගේ.. සිතිජ රේඛාවේ ඔබේ රුව පෙනෙද්දී මගේ හිත අමුතු සිහිලකින් පිරෙනවා.. අනේ.. ඔයාව හොයාගෙන දුවගෙන එන්න ඇත්නම්... ඒත් එවන් පිනක්‌ මට කොහෙන්ද.. මේ අඩ අන්ධකාර රැයේ.. මගේ හිත වැළපෙනවා... ඒ ඔයාගේ ආදරේ මතක්‌වෙලා...

මේ පෙම්වතාගේ වැළපෙන සිත ගැන ගීපද ලියූ රචකයා ඩොනල්ඩ් අයිවන්.. තවත් ගීත රැසක පද රචකයා... ප්‍රියා ගයන මාගේ සැමරුම් පොතේ, මගේ ළමැද ඉන් ගීත දෙකක්‌ විතරයි... කීර්ති, ඩොනල්ඩ් ගැන කතා කළේ දුක්‌බර හඬකින්.. ඔහු මේ ගීය ඩොනල්ඩ්ට උපහාරයක්‌ ලෙස පුද කළේ මෙසේ කියමින්...

ඩොනල්ඩ්.. මාස කිහිපයකට කලින් අපෙන් වෙන් වුණා.. මීවිතේ කුරුටුගෑ ගී පොත අද තෝරාගත්තු මේ ගීය මම අපේ ආදරණීය ගීත රචක ඩොනල්ඩ් අයිවන්ට උපහාරයක්‌ ලෙස පුද කරනවා...

ඔව්... අද අපේ මේ සටහන ඩොනල්ඩ්ට උපහාරයක්‌ වේවා.... කීර්ති පැස්‌කුවල් වගේම ගීය තනුව හා සංගීතය රචනා කළ රූකාන්ත සමඟින් අපිත් ඩොනල්ඩ්ට මේ උපහාරය අද කරනවා...

ගායනය - කීර්ති පැස්‌කුවල්
සංගීතය - රූකාන්ත ගුණතිලක
පද රචනය - ඩොනල්ඩ් අයිවන්

Source:  

No comments:

Post a Comment