ආදරයෙන්
බැඳී සිටි දෙදෙනෙක් වෙන් වුණොත් ..... සිතට දැනෙන වේදනාව කියා
නිම කරන්න බැහැ. මේ බිඳී සුනු විසුණු වන්නේ ප්‍රථම ප්‍රේමය
නම්..... වේදනාව තවත් වැඩියි.
බිඳුණු පෙමක වේදනාවේ අන්තය බොහෝ විට වෛරයයි. ආදරයයි වෛරයයි
අතරේ වෙනස හරියට කෙස් ගසක් වගේ කියලයි කවියෝ කියන්නේ. මේ
වෛරය හරිම දරුණුයි. පෙම්වතා පෙම්වතියගෙන් වෙන්වුණොත් පෙම්වතිය
පෙම්වතාට වෛර කරනවා. පෙම්වතිය පෙම්වතාගෙන් වෙන්වුණොත් පෙම්වතා
පෙම්වතියට වෛර කරනවා.
විරහ වේදනාව ඉවසා ගන්න බැරි වූ පෙම්වතුන් ජීවිතයෙන් පලා ගිය
අයුරු අපි කොතෙකුත් අසා තිබෙනවා. වෙන්වීමේ වෛරය බොහෝ විට දරුණු
වූ පසු පෙම්වතා පෙම්වතියව මරා දැමූ අවස්‌ථාවන් අප අසා තිබෙනවා.
මේ හැම දේකටම මුල සිතෙහි බැඳි ආලයයි.
සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා.
මේ වෙන්වීම වෛරයට හැරුණු අවස්‌ථාවක් ගැන ලියෑවුණු පද පෙළක්
නොවේ. විරහ වේදනාව, වෙන්වීමෙන් ඇතිවූ සිත් වේදනාවට එකිනෙකාට
දොස් පවරා ගන්නා ගීත අප අසා තිබෙනවා. ඒත් මේ එවන් ගීයක්
නොවේ.
මේ දෙදෙනා කලක් ඉතාම ආදරයෙන් වෙළී සිටි අය. ඒත් දැන් ඒ සෙනෙහස
බිඳී ගොසින්. දෙදෙනා කොතරම් සුන්දර වූ ලෝකයක්, විජිතයක්
මවන්න ඇතිද. ඒත් ඒ විජිතය දැන් අහිමියි. ඒ ලෝකයට සමුදෙන්න
වෙලා. මම ඔබෙන් වෙන් වෙන්නම්. ඒත් මම තරහ නැහැ. ඔබට යහපතක්‌ම
වේවා. ඔබේ සිතට දුක් වේදනා ඇති නොවේවා.
ඕ ප්‍රාර්ථනා කරනවා. බලන්න කොතරම් අපූරුද කියලා. දෙදෙනා අතර
තිබෙන ආදරය වෙන්වුණත් ඒ වි හමයි.
මේ ගීය ලියුවේ කුලරත්න ආරියවංශ. පැරණි ගීයක්. ගායන
ශිල්පිණියත් ඒ දවස්‌වල අදට වඩා බොහෝම තරුණයි.
දීපිකා ගේ වැඩසටහනකට මට ගීතයක් රචනා කරන්න කිව්වා. ඇයට
තියෙන්නේ භාවපූර්ණ හඬක්. ඒ හඬ නිසාම ඇයට ගී ලියද්දී ප්‍රේමය
වස්‌තු විෂය කරගෙන ලියන්න නැඹුරු වෙනවා.
සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මා
කඳු ලැල්ලක් වී ඔබගේ දෑසෙන්
වෙන්වී යන්නට උරුම වුණේ ඇයි.
මේ කුලරත්න දීපිකාට ලියූ පළමු ගීය. මේ ගී දෙක එකිනෙකට වෙනස්.
"සිනාපොදක් වී" ගීය මහාචාර්ය කාලෝ ෆොන්සේකා අහලා අප්‍රසාදය පළ
කළා. ඔහු හොඳ රසිකයෙක්. එතුමා මගෙන් ඇහුවා ඇයි ප්‍රේමයෙන්
වෙන් වූ පසුව තරුණිය තරුණයාට චෝදනා කරන්නේ කියා. මහාචාර්යතුමා
කැමැති නැහැ අතහැරුණු පෙම්වතාට පෙම්වතිය හෝ පෙම්වතියට පෙම්වතා
හෝ දොස් කියනවාට. ඒක ඔවුන්ගේ කැමැත්ත. ඊට නිදහස තිබිය යුතුයි
කියා තමයි මහාචාර්යතුමා මට කිව්වේ. කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා
කොහොමත් රැඩිකල් අදහස් තියෙන කෙනෙක්‌නේ. මට මතකයි සුනිල් ආර්.
ගමගේ ලියූ කපුගේ සහෘදයා ගයන "ඔබ පෙම්කරනා ඔබේ කුමාරි ඔබට ආදරේ
කියනා අයුරින් " ගීයටත් එතුමා දොස් කිව්වා. ඉතින් "සිත ඔබ පා
මුල රඳවා" ගීය ලියද්දී මට සිහිපත් වුණා මහාචාර්යතුමා කියූ ඒ
කතාව.
අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ
සදා රැඳේවා
ඔබේ ලොවේ....
මේ තරුණිය තමන් අතැර ගිය පෙම්වතා දෙස බලන්නේ උපේක්‍ෂාවෙන්. ඔහු
සමග ගත කළ අතීතය ඇයට සුන්දර මතකයක්. එය සිහිනෙන් විඳි සුවඳක්
වගේ සදා කාලයටම ඇයට වටිනවා. හරියට කැටපත් පවුරක ලියූ ගීයක්
වගේ. ඔබේ හද තුළ සදාකාලයටම සටහන්වේවායි ඇය පතනවා.
ඇයගේ පැතුම මොනතරම් සොඳුරුද ඇත්තටම ආදරය කළ දෙදෙනෙක් වෙන්
වුණොත් වෛර කරන්න බැහැ. එකිනෙකාට සුබ පතනවා හැරෙන්නට. මේ
ගීතයෙන් කුලරත්න ආරියවංශ කවියා ගී පද රචකයා ලබාදෙන්නේ එවන්
අරුතක්.
මේ ගීතයේ තනුව හරිම ආකර්ෂණීයයි. රෝහණ වීරසිංහ යනු කිනම් ගී පද
වැලක් වුවත් ආකර්ෂණීය තනුවකින් සහ මධුර සංගීතයකින් හැඩකරන
සංගීතඥයෙක්. පදවැලේ අරුත් දීපිකාගේ හඬින් තව තවත් උද්දීපනය
වෙනවා. ඇගේ හඬ හැඟුම්බරයි. මේ ත්‍රිත්වයේම එකතුවෙන් බිහි වූ
ගීය. සවනට, මනසට ලබා දෙන්නේ සුන්දර රසයක්.
Source :
|
No comments:
Post a Comment