සමාජ විශමතා ගැන කතා කරන කවුරුත් ජාති බේද, ආගම් බේද ගැන කතිකා ඇති කළත් කුල බේද ගැන කතා කරන්නෙ ටිකක් අඩුවෙන්.අතීතයේ වූ රැකියා ක්‍රම පදනම් කරගත් කුල ක්‍රමය වර්තමාන නිදහස් අධ්‍යාපන රටාවත් සමග මදක් අභාවයට ගිහින්.අළු යට ගිනි පුපුරු වගේ මතුවෙන අවස්ථාත් නැත්තෙම නැහැ.(පුවත්පත් මංගල යෝජනා පිටු වල වගේ)
කුල ක්‍රමය අනුභූතිය කරගත් සාහිත්‍ය නිර්මාණ අතරට මේ ගීතයත් දක්වන්න පුළුවන්.
ගොවි,කරාව,දේව,කුඹල්,වහුම්පුර වැනි නොයෙකුත් කුල අතර රජක කියන්නෙ ටිකක් පහත්යැයි සම්මත කුලයක්. මෙහි එන ලෙංචිනා රජක කුල තරුණියක්.(ජසයා සහ ලෙන්චිනා නාඩගමේ එන චරිතය ඇසුරින් මෙම නම යොදන්න ඇතැයි සිතිය හැකියි )
ලෙන්චිනා හැමදාමත් ගොංමන් අඳුරේ රෙදි සෝදනවා.මේ කියන අඳුර කුල වාදයේ අඳුර වෙන්න පුළුවන්, නූගත්කමේ අඳුර වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් දුප්පත්කමේ අඳුර වෙන්න පුළුවන්. ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ
ඇය හැමදාමත් මේ විදියට අඳුරට වෙලා වැඩ කරන්නෙ ඒක තමන්ගෙ උරුමය, එහෙම නැත්නම් කරුමය ලෙස සලකමින් වෙන්න පුළුවන්.
ඒත් ඒක හැමදාම එසේ විය යුතුද?රචකයා ඇයට යෝජනා කරන්නෙ මේ අන්ධකාරෙන් ගොඩ එන්න.මේ ක්‍රමයට තිත තියන්න. ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා
මෙතනදි ලෙන්චිනාගෙන් සංකේතවක් වෙන්නෙ හුදෙක්ම කුලයෙන් පහත් යැයි සම්මත පිරිසම නොවෙන්න පුළුවන්.ධනයෙන්, බලයෙන්,උගත්කමින් අඩු හැමදෙනාගෙම කුලකය ඈ නියෝජනය කරනවා.ඉහලින් සිටින කාගෙත් පව් සෝදන්න සිදිධ වෙන්නෙ ඔවුන්ට.ගම්මානයේ පව් සෝදනා කියන යෙදුම මෙතනදි ප්‍රබලයි.
ඒත් මේ කිළි කුණු කවදාවත් සෝදල ඉවර කරන්න බෑ.සෝදපු ඇඳුම් යළි යළිත් අපිරිසිදු වෙනව වගේ සමාජයේ පවතින මේ බේද, විෂමතා යළි යළිත් මතුවෙනවා.සමහර පැල්ලම් කොහොමවත් ඉවත් කරන්න බෑ. පින්වතුන් කැල ඇන්ද සළුපිලි සේදුවා නුඹ සේදුවා තාම නෑ කිලිකුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා
ඒ උනත් මේ අසාධාරණකම්, නොපනත්කම් වලින් නොසැලෙන ඔවුන් එයින් පන්නරය ලබනවා.සෝදන්න සෝදන්න කිළිකුණු ඉවත් නොවුනත් ලෙන්චිනාලාගෙ දෑත් පිරිසිදු වෙනවා.උසස් යැයි සම්මතුන්ට වඩා ඔවුන් අධ්‍යාත්මිකව උසස්... සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා
තේජන අබේදීර |
No comments:
Post a Comment