සර්වකාලීන ගීතයක්.. ඒ වගේම අපි හොඳින් කියවලා බැලුවොත් මෙතන තියෙනවා පෙම් පුවතක්.. ඒ කියන්නෙ මේ ගීතය පසුබිම් වෙන්නෙ එක අවස්ථාවක් නොවෙයි. ඒ කියන්නෙ ඔහුත් ඇයත් වෙන්වුණ අවස්ථාවෙ නොවෙයි. අරගෙන බලන්න ඔවුන් හමුවෙනවා. හමුවෙද්දි හිතේ ඇති වුණ චකිතය, ලැජ්ජාසහගත බව ආගන්තුක බව මුළදි පේනවා නේද? මුලදීම ඔහු දකින්නෙ ඇගේ සිනාව, එහි සුන්දරත්වය.. ඊට කලින් එහෙම සුන්දරත්වයක් ඔහු විඳලා නැහැ. එවන් සුව පෙර නොවිඳි තුන් හිතම සලිත වෙයි.. එහෙමයි කියන්නෙ..
ඊළඟට ඔවුන් ළං වෙනවා. ටිකෙන් ටික.. ඊළඟට ඔහුට මතක් වෙන්නෙ ඇයගේ දෑස.. ඒ කියන්නෙ දැන් ඔවුන් පෙම්වතුන්.. දෑස් වලින් කතා කරන්නෙ නේද?
තුන් වෙනි කොටසට එද්දි බලන්න.. දැන් ඔවුන්ගෙ සම්බන්ධය තවත් දුරදිග ගිහින්. දැන් ඔහුගෙ හිත හිනාවකට හෝ ඇස් වලට නොවෙයි ඇගේ දෙතොල් වලට. ඔහු මතක් කරන්නෙ නා ගස්.. නාදළු කියලා කියන්නෙ සුමුදු දෙතොල් වලටනෙ. ඒ කියන්නෙ ඔහුට ඒ පහස දැනිලා තිබෙනවා. එළඹිලා තියෙන්නෙ වසන්තයනෙ..
දැන් බලන්න කාලයක් ගිහින් - යුග ගණන් -. මොකක් හෝ ගැටලුවක්.. පටලැවිල්ලක්. වැරදීමක්. ඔහු නෙමෙයි ඇය වෙන්වෙලා ගිහින් ඔහුවෙතින්.. ඒත් ඔහු තවමත් බලා ඉන්නවා. මේ කියන්නෙ ඇත්තම පාරක් ගැන නොවෙයිනෙ. පැහැදිළියි ඔහු ඈ වෙනුවෙන් තවමත් ඔවුන්ගෙ ආදර ලෝකයේ සිටින බව. දැන් මතක් වෙන්නෙ පෙර ඇසුර.. ඒ කියන්නෙ මේ මොහොත වෙද්දි ඇසුර නැවතිලා.
අවසානය බලන්න. එකම අහස, එකම පොළොව.. අහස පොළොව හැරුණාම දැන් අපේය කියන්න කිසිවක් ඔවුන්ට නෑ. අහස පොළොව පොදුයි කියන කාරණය මිහිමත ජීවත් වෙන හැම සත්වයෙක්ටම අදාලයිනෙ. හැබැයි ඔහු හදවතින් තවමත් ඇයට ආදරය කරනවා. එක්ව සිටින බව සිතනවා.. ඇයත් එහෙම ඇති කියා ඔහු උපකල්පනය කරනවා.. වෙන්න පුළුවන්නෙ. අපිත් එහෙමනෙ පතන්නෙ. මම හිතන තරමටම අනිත් කෙනාත් හිතනවා, දුක්වෙනවා, බලා ඉන්නවා ඇති කියලා. ඒත් බලා ඉන්න බැරි මට. සියොළඟම සැලෙන්නෙ මගේ.. ඉතින් මුල ඉඳන් අගටම එන එකම පැතුම..
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...................................
මොන හේතුවකට වුණත් ගීතය අහල ඉවරවෙද්දි ඇස්වල කඳුළු......
තේජන අබේදීර
|
No comments:
Post a Comment