සාර්ථක ගීතය වනාහී මිනිස් සිත පතුළම අසීමාන්තිකව ආක්‍රමණය කරන්නකි. සිත් සන්තානයම අසීමාන්තික රිඳුම්වලින් සුවපත් කරන ඖෂධයක් මිස රිඳුම් දෙන සිත් දවා අවුළුවන්නක් නොවන්නේය. සෞම්‍ය හඬකින් යුතු නැළවිල්ලක් වාගේ ආත්මයම සුවපත් කරන ගීත අද විරල බව කීම වරදක් නොවන බව මගේ අදහස වන්නේය. ශබ්ධ රසයෙන් බුරාගෙන ඇවිලෙන ගීත අස්සේ හදවතම නිවීමට සමත් වූ අතලොස්සක් ගී අතර අමතක කළ නොහැකිම අර්ථ රස භාව ශබ්ධ ආදියෙන් පරිපුර්ණ වූ ගීතයක් ලෙසින් කලාකරුවකුගේ ආත්මය ස්පර්ශ කළ සංවේදී ගී නිර්මාණයක් ලෙස "මේ තරම් සියුමැලිද කළු ගල්..." ගීතය දක්වාලිය හැක්කේය. එදත් අදත් එක වාගේම විමසිය හැකි නුඹත් මාත් අතිශයෙන් ප්‍රිය කල මේ ගීතය කෙරෙහි සටහනක් මේවර තබන්නට මම සිතීමි. මේ හිත් පිත් නැතැයි සමාජ සම්මතයක් පැවති අජීවී වස්තූන්වලට සජීවීත්වයක් ආරෝපණය කළ නිහඬ කලාකරුවකුගේ ආත්මය සොයා ගිය තැනැත්තකුගේ ඉදිරිපත් කිරීමක් සරලව මෙහි අනුභූතිය එනම් තේමාව දැක්විය හැක.
කාටවත් අනුමාන කළ නොහැකි අමුතුම තේමාවන් ඔස්සේ ගී පද රචනයේ යෙදෙන ප්‍රවීන ගේය පද රචකයෙකු වන රජී වසන්ත වෙල්ගම නම් ගේය පද රචකයා අතින් ලියැවුණු මෙම ගීතයේ නාද රටාව එනම් සංගීතය නිමැවෙන්නේ දර්ශන රුවන් දිසානායක නම් සංගීත නිර්මාණකරුවා විසිනි. මේ ඔබ හඳුනනම ගීතයක කතන්දරයකි. අපේ හෙළයේ අනන්‍යතාව ගැන කියවෙන කතාවකි. ඒ අස්සේ සැගවුණු අමුතුම ලෝකෝත්තර සත්‍යක් සැගවුණකි.
"මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා... "
බුදුන්ගේ ලෝකෝත්තර ගුණය පෙන්වන අභයගිරි කලා සම්ප්‍රදායේ ධර්මරුඨි නිකායට අයත් ශ්‍රී ලංකාවේ සමභංග ඉරියව්වෙන් යුත් විශාලම හිටි බුදු පිළිම පහ අතරින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ගමේ කලා වැව දෙසට මුහුණලා නෙලා ඇති ක්‍රි.ව 8වන සියවසට අයත් ශෛලමය අවුකන බුදු පිළිමය පද්මාසනයේ සිට සිරස්පත දක්වා උස මිටර් 11.36කි. සමභංග ක්‍රමය (ශරිරයේ බර දෙපා වලට සමානව බෙදී යන සේ ශරිරය කෙළින් තබා සිට ගන්නා ස්වභාවය) නිරූපිත මෙහි එසවූ දකුණු අතේ අභය මුද්‍රාව ද වමත උරහිස මට්ටමට ඔසවා සිවුර අල්ලාගෙන ඉන්නා කටක මුද්‍රාවෙන් යුතුය. ඇඳුම තනිපට සිවුර, අඳනය හා පටිය යන තුනෙන් යුතුවන අතර ඇස්වට හන්දියේ සිට අඟල් හතරක් පමණ ඉහළින් අවසන් වන ලෙස අඳනය හඳවා ඇත. සිවුර පොරවා ඇත්තේ අඳනයේ නුවාව පෙනෙන ලෙස අඳනයේ යට සිමාවට අඟල් හතරක් පමණ උඩින්ය. පටිය නොපෙනෙයි. සිවුර ඒකාංශපාරූපන ක්‍රමයට පොරවා තිබේ. එනිසා දකුණු උරය විවෘත වන අතර වම් උරය සිවුරට වැසි ඇත. මේ ක්‍රමයට සිවුර පොරවන විට වමතේ මැණික් කටුව දක්වා සිවුරු පොටවල් දෙක පැතිරේ. එනිසා වමත පහළ හෙළිය නොහැක. වමත පහළට තිබුණොත් සිවුරු පොට බිම තැවරෙන හෙයින් සංවරයට බාධාවකි. එනිසා වමත ඔසවා තබා ගැනිමට සිදුවෙයි. සිවුරේ ඇත්තේ තනි රැල්ලකි. අවුකන බුදු පිළිමය මහා පුරුෂ ලක්ෂණවලින් යුක්තය. පිටි පතුල් දෙක, පිටි අතුල් දෙක, උරහිස් දෙක හා කඳ පිරී තිබේ. එය දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් සත්තුස්සද ලක්ෂණයයි. හිසේ දක්ෂිණාවර්ත කෙස් පිඬුය. හිසේ මුදුනේ අර්ධ ගෝලාකාර සංකේතයක් හා එමත සිරස්පතකි. අර්ධ ගෝලාකාර ලක්ෂණයෙන් සංකේතවත් වන්නේ හිසින් ඉහළට විහිදෙන බුදු රැස්ය. එය හැඳින්විමට අනුරපුර යුගයේදි භාවිත කළ වචනය "රංසිපුඤ්ජ" යන්නයි. එහි පාළි අරුත රැස්ගොඩ යන්නය. ප්‍රතිමා ප්‍රමාණසංස්කරණයේදී අවුකන පිළිමයට යොදාගෙන ඇත්තේ නව තාල ක්‍රමයයි. මුහුණ මෙන් නව ගුණයක් යටි පතුල් වල සිට නලළේ මැද ඉහළ කෙස් පිඬුව දක්වා උස වෙයි. ඉතාම නිවැරදිව මෙය අවුකන පිළිමයේ පිහිටයි. (පිළිමයේ සමානුපාතික සිරස් මිනුම් අමතරව මෙලෙස දැක්විය හැක. මුහුණතාල 1=අඟල් 12, බෙල්ලතාල 1/3=අඟල් 4, පබල්ල /පපුවතාල 1=අඟල් 12, පපුව-නාභියතාල 1=අඟල් 12, නාභිය-ලිංග මූලයතාල 1=අඟල් 12, නලවාතාල 2=අඟල් 24, දණතාල 1/3=අඟල් 4, කෙණ්ඩතාල 2=අඟල් 24, විලුඹතාල 1/3=අඟල් 4, එකතුව නවතාල 9=අඟල් 108) ඉහත මිනුම් ක්‍රමයට පරිවර්තනය කිරීමෙන් මීටර 11. 36ක්වන මෙහි උස අඟල් 108ක් හෙවත් තාල නවයක් බව පැහැදිලිය. පිළිමයේ පද්මාසනය විශේෂයෙන් වැදගත් වන අතර බ්‍රහ්මයා ඇතුළු දේවරෑ පද්මාසනය තුළ වු ගර්භපාත්‍රයෙහි තැන්පත්කර ඊට ඉහළින් බුදුරුව දැක්වීමෙන් බුදුන්ගේ "දේවාතිදේව බ්‍රහ්මාති බ්‍රහ්ම" හෙවත් දෙවි බඹුන් ඉක්මවා සිටින බව ප්‍රකාශිතය. කෙලෙසුන්ගෙන් මිදුණු නිසාත් ශාරීරික දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති නිසාත් බුදුන්වහන්සේ මෙහි මහා පුරුෂයකු වශයෙන්ද පෙනි සිටී.
ඉහතින් දක්වන ලද්දා වූ කලාත්මක ලක්ෂණයන්ගෙන් හෙබි වූ අවුකන පිළිමය දෙස බැලූ කල එය නිමැවූ කලාකරුවා ගැන් අදහසක් අපට ගත හැක. එහි නිර්මාණ ප්‍රතිභාව කොතෙක්ද යත් සිරස්පත මතට වැටෙන වැහි බිඳිති පිළිමයේ නාසය හරහා ගලා විත් නාභිය කෙළින් පතිත වන්නේ පිළිමයේ පාදවල මහපටැගිලි දෙක මැදටය. එහි සමපාත බව නිර්මාණශීලිත්වය ගැන කියන්නට අටුවා ටීකා අවැසි නැත. ඉන් නිරූපිත වන්නේ සිහල ගල් වඩුවාගේ අපූර්වත්වයය. එහි නිර්මාණත්වය බව විමසීමේදී පිළිමයටත් වඩා ඉහළින් එහි කලාකරුවා වැජඹේ. මෙහි කතා නායකයාට පැනයකි. තද කළු ගලක වෙඩුරු පිඬක මෙන් රටා මතු කළේ කෙසේද මනුෂ්‍යත්වය, බුදුන්ගේ ගුණ කදම්භය එක් කලේ කෙසේද යන්නය. තව අතකට මේ කළු ගලට බුදු ගුණ කැවූ මිනිසා කෙසේ වන්නට ඇතිද.. "මේ තරම් සියුමැලිද කලු ගල් සිතන්නටවත් බැරි නිසා.." කතා නායකයා පුදුම වෙයි. මෙතරම් දැඩි ගලකට කරුණාව දයාව ශාන්ත රස එක් කළ හැටි ඇදහිය නොහැක්කකි. එතරමටම රළු කළු ගල පණ පොවා ඇත්තේය. එකළ ගල් වඩුවාගේ හැකියාව හුවා දක්වන්නට ඒ පද පෙළම ඇතිය. "මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා.." ඉහත කී අවුකන බුදු පිළිමයේ නිර්මාණකරුවා වූ ඒ මිනිසා රළු කළු ගල වෙඬුරු මෙන් ගල් කටුවෙන් උණු කළ මිනිසා සොයා පරිකල්පන හැකියාවෙන් අතීතයට යන්නට කතා නායකයා පෙළඹේ. "දෑස් දුන්" පදයේ අරුත තව ආකාරයට බැලූ කල පිළිමයේ වැඩ නිමා කළ බවක් දක්වයි. තව අයුරින් බැලූ කල බුදුන්ටත් දෑස් එනම් පෙනීම ලබා දුන් මිනිසා කොතරම් අපූරු ඇතිද යන පැනය ව්‍යංගයෙන් දක්වයි.
"කළා වැව ළඟ ඉළුක් හෙවණක මැටි පිළක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා..."
කෙසේ හෝ මේ කතා නායකයා මෙකී ගල් වඩුවා සොයා අතීතයට ගමන් කරයි. එහිදී කතා නායකයාට අනුරාධපුර යුගයේම කළා වැව ඉදිරිපිට ඉලුක් පැලක් අටවාගෙන වැව් දිය රැලිති දෙස බලා ඉන්නා කලාකරුවා හෙවත් ගල්වඩුවා මුණ ගැසේ. " කලා වැව ළඟ ඉලුක් හෙවණක මැටි පිළක පැදුරක් එළා.."ගල්වඩුවා තම නිර්මාණ කරන්නේ පරිසරය ආශ්‍රය කරගෙනය.ඔහුගේ ජීවන පසුබිම ගීතයට කවා ඇති අකාරය ඉතා අපූර්ව ලෙස රචකයා ඉදිරිපත් කරයි. "රිඳුම් පිරි මදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා.." සරලව ගත් කල ඔහු ගල් වඩුවෙකි. දවහල් කල ගල් කටුව හා මිටිය සමඟ ඔට්ටු අල්ලා රිදුම් දෙන වේදනා තමා විසින්ම පිරිමදිමින් කලාවැවේ රළපනාවේ වැදී කැඩී ඉහිරෙන රැළිති දෙස ඔහු බලා හිදී. මෙහි සැඟවුණු අරුත ගැඹුරුය. ලෞකිකව ගත් කලකදී මෙහි අරුත වන්නේ කලා වැව යනු සමස්ත කලා ලෝකයය. එහි රැලිති ඉපදි ඉපදී මැරෙන්නාක් මෙන් නව නිර්මාණ බිහි වී නැති වෙමින් යයි. පැවැත්මක් නැත. හරියට "ආවෝගියෝ" වැනිය. දක්ෂතාවයෙන් නිපුණ වූ කලාකරුවාට මේ සදාකාලික නොවන තාවකාලික කලා නිර්මාණ බිහි වී නැති වී යාම දුකකි. වේදනාවකි. ලෞකිකව ගත් කල එවන් අරුතක් දැනවූවද ගැඹුරට විමසීමේදී ඉන් එහාට ගිය අතිශය ප්‍රභල වූ අරුතක් මෙහි සැඟවෙන්නේය. ගැඹුරට විමසීමේදී මෙහි පිරිමදින රිදුම් ගල් කටුව හා මිටිය සමඟ ඔට්ටු වීමෙන් පමණක් ඇති නොවුණකි. ඊටත් වඩා රිදෙන රිදුමක් ඔහුගේ හිතේ ඇත්තේය. ඔහු ඒ හදවතේ රිදුම දරාගෙන කලා වැවේ ඉපද මිය යන රැලිති දිහා බලා හිදී. එක රළක් රළපනාවේ ගැටී බිදි යද්දී තව එකක් පැමිණේ. ඒක බිදී යද්දී ඒ පිටුපස තව රළක් එන්නේය. එහි අස්සෙහි සැඟවූයේ ඉපද මැරෙන ජීවිතය නොවේ නම් තව කවරක්ද.. රළපනාවේ ගැටෙන රැලි සේම මිනිස් ජීවිතයද තැන් තැන් හී ගැටේ. බිඳේ. සතුට දුක එක වාගේ ජීවිතය අස්සේ දෝළනය වේ. මේ ජීවිත ගමන දෙස මේ එන කලාකරුවා බලා හිදී. "පැදුර" මෙහි එන සංකේතයකි. එහි අදහස වන්නේ ස්ත්‍රී පුරුෂ සහවාසය නොවේ නම් අන් කවරක්ද.. මෙකී පැදුර මත තනිව හිඳගෙන කලාකරුවා බලා හිදී. එහි ඇත්තේ නොවිසදුනු බලාපොරොත්තුවක් බව මගේ අදහස වේ. ඒ අනුව බැලූ කල අරුත් දෙකක් දැනවෙන අපූර්ව ගී නිමැවුමක් බව පුන පුනා කියන්නට මට අවැසි නොවේ.
"ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසු විට හිනැහුනා ඔහු තවම තනිකඩ යැයි කියා..."
අන්තරා පද පෙළ ගීතයේ ඉලක්කය හා සංවේදීම තැන අවදි කරන්නේය. ඉලුක් හෙවණේ පැදුර මත තනිව හිඳගෙන නිහඬව ඉන්නා ගල්වඩුවාගෙන් කථකයා කුහුලින් යුතුව ඊළඟ පැනය විමසයි. "ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා.." ගල්වඩුවාගේ පෙම්බරිය කොහේද ඇයි මෙතැන තනිවම හිඳගෙන බලා හිදින්නේ ඇයිදැයි කථකයා අසයි. " මා ඇසූ කල හිනැහුණා ඔහු තවම තනිකඩයැයි කියා.." කලාකරුවා නිහඬය. පිළිතුරු නොදෙයි. ඔහු හිනැහුණා පමණි. කථානායකයා ඒ මඟින් අනුමානයක් කරයි. එම උපකල්පනය නම් අවුකන පිළිමය සෑදූ ශිල්පියාම ඉසුරුමුණියේ පෙම් යුවල සෑදූ බවය. මෙය ගී රචකයාගේ උපකල්පනය කිරීමකි. කෙසේ හෝ පෙම්බරී කොහෙදැයි ඇසූ විට කලාකරුවා හිනැහේ. එහි සැඟවූයේ ඛේදයකි. සාලිය අශෝකමාලා පෙම් පුවත දිගහැරෙන පෙම් යුවල වනාහී කැටයම තුළ දැක්වෙන්නේ අධික පෙමින් වෙළීගිය යුවලකි. මෙහි කලාකරුවා අවුකන පිළිමය නෙළා අවසන් කර එද්දී ඔහුගේ පෙම්බරිය ඔහු හැරදා යන්නට ගොසිනි. ඔහුනුත් එසේ පෙමින් වෙලී ඉන්නට ඇත. නමුදු යනවුන් යනවාමය. යන එකා ගලේ කෙටුවත් යන බව අපේ ජන ව්‍යවහරය තුළ කියවෙන්නේ හේතු රහිතව නොවේ. කෙසේ හෝ දෙවන කොටසේ අවිනිශ්චිතතාවයෙන් දැක්වූ රිඳුම එයය. ඔහු පිරි මදින්නේ ඈ අහිමි වී ගිය රිඳුමය. ඒ වේදනාව තනිව දරා ගැනීමය. "..හිනැහුණා ඔහු තවම තනිකඩයැයි කියා.." ඔහුගේ දරාගැනීම අසීමාන්තිකය. මැරෙන ඉපැදෙන රැළිති දෙස බලාගෙන ඔහු ජීවිතය අවබෝධ කර ගනී. ඒ අතරම තාවකාලික නිර්මාණ නිමැවී අවසන් වී යන දෙසත් ඔහු බලා හිඳී. වේදනා දරාගෙනම ඔහු තවම තනිකඩයැයි හිනැහී කියන්නේ එහෙයිනි. අනෙක් අතට ඔහුගේ සිතේ තැවීම නැතුවාම නොවේ. ඔහුගේ පෙම්බරිය හැර යයි. ඔහු තාම තනිකඩය. අනෙක් අතට බැලූ විට එකල ශිල්පීන් තම දයාදයන් පවරන්නේ තම දුවාදරුවන්ටය. කලාව සිතත් ගතත් යොමු කළ විශිෂ්ට කලාකරුවෙකු වූ ඔහු අවසානයේ තනිව යයි. කලාව පවරන්නට පරපුරකුත් ඔහුට නැත. පෙම්බරියත් නැත. සියල්ලම අහිමි වී ගොසිනි. ඒ සියල්ලම කඩා වැටුණ මොහොතක සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන කලාකරුවා අවසානයේ මන්දස්මිතයක් මුව රුවා ගනී. ගීතය අවසාන වන්නේ ඔහුගේ අව්‍යාජ සිනාවෙනි.
ඉදින් මේ ගීතයේ කතාවය. රජී වෙල්ගම නම් පද රචකයාගේ අපූර්ව පද ඝට්ටනය විශේෂයෙන් ඇගයිය යුතුමය. ඊටත් වඩා දර්ශන රුවන් දිසානායකයන් යෙදූ හිත නිවෙන නැළවෙන සංගීතය අධි මාත්‍යය. ගීතය ප්‍රබලව හිත අස්සට කා වද්දන්නට සංගීතය සමත් වී ඇත්තේය. ඒ අනුව සංගීතය සාර්ථකය. ව්‍යංගයෙන් ගැළපූ පද නිසාම ගීතයේ මතුපිට අරුත එකක් හා නියම අරුත එකක් ලෙස අරුත් දෙකක් විවරණය කළ හැක. එය පද රචකයාගේ ප්‍රතිභා නිර්මාණ හැකියාව අසීමාන්තික ව විවරණ කරන්නකි. හඬ ගැන නම් තව කුමන කතාද.. සුනිල් එදිරිසිංයන්ගේ ලයාන්විත හඬ හදවත තුවාල කලාක් සමානය. එතනම් භාවාත්මකය. ලයාන්විත ය. සුගායනීයය. ඉදින් සමස්ථයක් ගත් කළ පද ස්වර පරිපූර්ණ ය. සාර්ථක භාවසංවේදී පද ගැලපුමක් ලෙසින් මේ පද වැල නොහැදින්නුවහොත් මම එතැන වරදක් කර ඇත්තෙමි. ඉදින් අවසන සටහන් කර ලියා තබමි. එදා මෙදා තුර බිහි වූ ගී අතර අරුත්බර රසවත් ගී අතර "මේ තරම් සියුමැලිද .." ගීය ඉහළින් ම වැජබෙන බව කිවහොත් එය වරදක් නොවන බවය.
අදහස : ප්‍රමෝද්‍යා කාවින්දි ජයවික්‍රම ගෙනි
|
No comments:
Post a Comment