Wednesday, October 10, 2012

Senehasa Illa Liyathabara Laga

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියෑසි කැළක්‌
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බඹර තුඩක්‌

වැහි කළුවර ඇති සැන්දෑ සමයක
තරුමල් පිපුණලු අහස්‌ ගැබේ
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
කළියුගයේ ඇත පහළවෙලා
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා


මේ ලෝකේ ජීවත් වෙන අපි හැමදෙනාම එක වගේ නෙවෙයි. රුව, ගුණ, ගති, හැසිරීම්, කතා බහ... මේ හැමදෙයක්‌ම විවිධයි. විෂමයි.

ආදරයත් ඒ වගේ..... විෂමාකාරයි සමහරුන්ගේ ආදරේ හරිම පවිත්‍රයි...... අවංකයි. අවංකව ආදරය නොකරන අයත් ඉන්නවා. ඒත් ඒක පිවිතුරු ආදරයක්‌ නොවේ.

ආදරය... හරිම පුදුමාකාර වචනයක්‌... මේ ආදරයේ අපි නොදකින පැත්තකුත් තියෙනවා.

ඉතිං...... අපි අද තෝරා ගත්තේ ආදරයේ අප නොදුටු පැත්තක්‌ ගැන ලියෑවුණු ගීතයක්‌ කියවන්නයි.



සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියෑසි කැළක්‌
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බඹර තුඩක්‌

ලියතඹරා.... දුටුවන් උන්මාදයට පත්කරන මලක්‌... තවුස්‌ දම් පුරන්නෝ පවා ලියතඹරා මලක්‌ දුටුවොත්.... සමවැදී උන් දැහැන් බිඳෙනවා...... ශෘංගාරාත්මක හැඟුම් පුබුදුවන එවන් වූ මලක්‌ අසලට වී සංගීත නාදය පතුරන්නෝ කැළක්‌ හඬා වැටෙන්aනේ වෙන කිසිවක්‌ නොව ආදරය ඉල්ලාය.

මේ ගීයේ රචකයා... අශෝක කෝවිලගේ ඔහු ලියූ පළමු ගීතය ගැනයි අද අපි මේ කතා කරන්නේ.......

කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක්‌......

කපුරු මලින් වහනය වන සුගන්ධයට බඹරු වහවැටෙනවා මේ සුවඳ නිසාම බඹරු මිය යනවා..... හරියට ලියතඹරා මලක්‌ දුටුවාම තවුසන්ගේ දැහැන් සිඳී බිඳී යනවා වගේ..... ඒත් "අශෝක මේ ගීතයෙන් පවසන්නේ කපුරු මලට වඩා බඹර තුඩ විෂ බවයි.

ව්‍යංගාර්ථයන්ගෙන් පිරී තිබෙනා මේ ගීය හොඳින් කියවා බලන්න. බඹරා කියන්නේ ආදරයට උපමාවක්‌....... පෙම්වතාටත් බඹරා කියා කියනවා....... කොතරම් සුවඳවත් මලක්‌ වුණත් බඹරාගේ කුරිරුකම නිසා විනාශ වෙනවා. බඹරාගේ තුඩට කපුරු මලක්‌ මැරේ නම් අනේක මල් ගැන කවර කතා ද......ගීත රචකයා මේ කියන්නේ ආදරයේ කුරිරු බව මිස අන් කවරක්‌ද?

මම මේ පද මාලාව ලියුවේ විශාරද මාලිනී බුලත්සිංහල වෙනුවෙන්මයි. ගීය ලියූ කාලයේ මා ඈ හඳුනන්නේ නැහැ. ඒත් දවසක්‌ ගංගාරමයේදී මම ඈ හමු වුණා. ගීතයක්‌ දෙන්නද කියලා මම ඇහුවා... හා දෙන්න....." ඈ කීවා.

ඒ මම ඈ සමග කතා කළ පළමු අවස්‌ථාව. මම ඒ වෙලාවේම මේ ගීය ඇයට ලියලා දුන්නා...... හෑන්ඩ් බෑග් එකට ගිය ලියූ කොල කැබැල්ල දමාගත් ඇය යන්න ගියා..... පසුදා පණිවිඩයක්‌ එවා තිබුණා." අර ළමයාගේ ගීතය මම ගායනා කරනවා. ඒ නිසා පැහැදිලිව ආයෙත් පදමාලාව ලියලා එවන්න කියලා...

වැහි කළුවර ඇති සැන්දෑ සමයක
තරු මල් පිපුණලු අහස්‌ ගැබේ
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ...

ආදරය සියයට සියයක්‌ම කුරිරුයි කියා නොකියන තරමට රචකයා මෙතැනදී පරෙස්‌සම් වෙනවා...... වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරුමල් පිපුණලු අහස්‌ ගැබේ" කියා ඔහු කියන්නේ ඒ නිසයි.

සැන්දෑ අහස වැහිවළාවකින් අඳුරුවෙලා..... ඒත් නබෝ ගැබ තුළ තරු මලුත් පිපිලා.. ඒ කියන්නේ ඉඳහිට හරි පිවිතුරු ආදරයක්‌ තිබෙනවා කියා නොවේද?

ප්‍රේමය බිඳ වැටුණාම දුක්‌ නොවන කෙනෙක්‌ සිටීද.. දේව දූතයන්.... හරිම පවිත්‍රයි..... පිවිතුරු බවේ සංකේතය තමයි දේවදූතයන්. ආදරයක්‌ කැඩී බිඳී යනවා කියන්නේ පිවිතුරු බව පලා යැමක්‌.....

මට ලොකු විශ්වාසයක්‌ තිබුණා ඇය මේ ගීය ගයන බවට. මෙහි තනුව හුඟාක්‌ම සාර්ථකයි. ඒ නිසා තමයි ගීය ජනප්‍රිය වුණේ. ගීයක්‌ අසද්දී පළමුව රස විඳින්නේ තනුව. තනුව අසාර්ථක නම් පදමාලාව ගැන සැලකිල්ලක්‌ නැහැ.

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
කළි යුගයේ ඇත පහළ වෙලා
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහලුවෙලා...

ආදරයේ විෂම බව මේ පද පේළියෙන් රචකයා මනාව පෙන්නුම් කරනවා. මේ කලියුග කාලේ.... අපට දකින්න ලැබෙන්නේ අවංක, පිවිතුරු ආදරය නොවේ...... ආදරවන්තයන්ගේ ෙච්තනා පාරිශුද්ධ නෑ. ඒ නිසා පෙම් සටනින් පරාජය වෙනවා. අද ආදරය කරන, යෞවන යෞවනියන්ගේ සිත් ගැනත් ගී පද රචකයා කියනවා. ඔවුන්ගේ සිත් සම්මතයෙන් බැහැරවෙලා. එනිසා ඒ සිත් වටහා ගන්න තරම් පවිත්‍ර ප්‍රේමයට ශක්‌තියක්‌ නැහැ. පිවිතුරු ප්‍රේමය අද යල් පැනගිය එකක්‌. පවිත්‍ර ප්‍රේමය විශ්‍රාම ගිහිං....


Source :

No comments:

Post a Comment