Tuesday, April 16, 2013

Mihirathi Wasantha Kale

මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නො ආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෝද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ



ප්‍රේමය අපට දිව්‍ය ලෝකයේ දොරටු විවර කරන විට වියෝගය, මරණයේ ගැඹුරු අඳුර තුළ අප වළ දමයි. නිමේෂයක් පාසා තියුණු සැතකින් අනින්නාක් බඳු වු වේදනාවන් දෙමින් බැඳීම්වල කටුක බව පසක් කරවයි. ගැඹුරු ආදරය අත්පත් කර ගත්තෝ සිය ආත්මවල ගැඹුරින්ම සංහිඳියාව ස්පර්ශ කරන විට එසේ නොහැකි වූවෝ සිය ලාලසාවන් වෙනුවෙන් ද ස්මරණයන් වෙනුවෙන් ද වැළපෙති. ඒ වැළපුමෙහි කඳුළු සිය පන්හි‍ඳෙහි තවරන ප්‍රේමකීර්ති ද අල්විස් තවමත් නො ආ වසන්තය, වරක් හිමි වි සඳහට ම අහිමි වූ ඒ වසන්තය අමතන්නේ මෙසේ ය.

Thani Wennata Mage Lowe Purudu Paluwen

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්...

සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදො
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ...

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්‌බර වූ
සැනසුම කොහි වේදො...


ප්‍රේමයෙන් ජය ලැබුවෝ කී දෙනෙක්‌ ඇත්ද? ඒත් වැඩිපුරම ඉන්නේ පරාජිත පෙම්වතුන්. ඒක තමයි ඇත්ත. ප්‍රේම කරන එකත් සටනක්‌ වගේ. අවි ඔසවාගත් සතුරන් කී දෙනෙක්‌ පෙම්වතුන්ට එරෙහිව නැගී සිටිනවාද? මේ සටනින් ජය ගන්නා එක හරිම අමාරු දෙයක්‌.

Oba Ma Hamuwu awasan Dine

ඔබ මා හමු වූ අවසන් දිනේ
තාම මා සිතේ රැඳී තියේ
කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ
ආදරේක වේදනා දැනේ
කොතරම් දවසක්‌ මා ඉන්නදො
මේ වගේ දුකක්‌ සිතේ දරා
සුළඟේ සැඟවී මා යන්නදො
මාගේ ප්‍රියා වී සොයා...

මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා
මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා
මට හොරා වගේ මගේ සිත කොහේ ගියා
මාව හැරදමා මසිත ඔබ සොයා ගියා
අඩ අඳුරේ සිත වැළපේ
සිහිවී ඔබේ ආදරේ...

වැලුකා තලේ සිත දිය බිඳක්‌ වගේ
ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ
මාසිතේ පුරා සුමුදු සිසිලසක්‌ දැනේ
ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ
අඩ අඳුරේ සිත වැළපේ
සිහිවී ඔබේ ආදරේ...

පෙම්වතුන්ගේ හිත්වල ඔවුනොවුන් ගැන මැවෙන ආදරය... ප්‍රේමාන්විත සිතිවිලි... අනන්තයි.... අප්‍රමාණයි.... එකිනෙකා නොදැක ඉන්න කාලය තුළදී ඉපදෙන ආදර හැඟුම්.. තවත් ඉහළයි.... මේ වෙන්ව සිටිනා කාලය මාසයක්‌... අවුරුද්දක්‌... දෙකක්‌ නම්... හිතන්නත් අමාරුයි... ඇය ගැන... ඔහු ගැන ඇතිවන ආදරය වගේම හිත් තුළ ජනිත වන දුක... ඒත් ඒ දෙදෙනා හමුවෙන තුරාවට විතරයි... ඒ දුක ඉන්පස්‌සේ සතුටක්‌... ආදරය... මිහිර... නිම්හිම් නැහැ....

Tuesday, April 2, 2013

Lihinin Rena Piya Salanne

ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්‌මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ..

ගඟදිය හඬන්නේ
විහඟුන් අහන්නේ
නුඹ කොතැනකද කියාලා....//
පෙරසේ මා සොයාලා මහදේ ගිනි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්...

මට හිමි මනාලී
පිට ගං ගියාවේ
විරසක නොවෙන් කියාලා...//
සංසාරේ කොහේ හෝ ඉපදී මුණගැහීලා
වෙන් නොවෙන්න පෙරුම් පුරමු රත්තරන්...


ප්‍රථම ප්‍රේමය... කාටත් හරිම සුන්දර මතකයක්‌.... ප්‍රේමයෙන් ජය ලැබූවන් ඉන්නවා... ඒත් ප්‍රථම ප්‍රේමයෙන් ජය ලැබූ අය.... අල්පයි. පළමු ප්‍රේමය බොහෝ විට තාවකාලිකයි.... හරියට සේපාලිකා මලක්‌ වගේ.... ආයුෂ කෙටියි.... කඳුළක්‌ වගේම ඒ වේදනාව පසු කාලයේදී මිහිරක්‌.

Apasu Yannata Para Kiyanawada

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි...

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ


ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි.

තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක්‌ විතරයි.

Nokee Rahasak Mathakaye Hida Thewenawa


නොකී රහසක්‌ මතකයේ හිඳ තැවෙනවා
ඔබෙ සුවඳ මට දැනෙනවා. දැනෙනවා
රැයේ ඝනඳුර නැගෙන තනියට
සඳක්‌ සේ ඔබ පිපෙනවා... පිපෙනවා...
මං ආදරෙයි... මං ආදරෙයි...
උමතුවෙන්...
ඔබේ සිත මා සොයනවා... සොයනවා

පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා
නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා...
නිදන නින්ද ද මුදා හරිමින්
අවදි කොට මා තබනවා... තබනවා...
මං ආදරෙයි... මං ආදරෙයි...
උමතුවෙන්...
ඔබේ සිත මා සොයනවා... සොයනවා...

දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා
දකිනු රිසි ඔබෙ තාරකා ඇස්‌
මසිත මිහිරක්‌ මවනවා... මවනවා...
මං ආදරෙයි... මං ආදරෙයි...
උමතුවෙන්...
ඔබේ සිත මා සොයනවා... සොයනවා


අපි ලෙංගතුව සිටි අය කී දෙනෙක්‌ අද අපෙන් ඈත්ව ගිහින්ද... පාසල් කාලයේ අපි ළඟින්ම හිටි අපේ යාළුවෝ.. අද කොහේ ඇත්ද... මඟතොටදී මුණගැහුණත් හඳුනා ගන්නත් බැරි තරමයි... ඒ තරම් කාලයක්‌ අපි එකිනෙකාගෙන් වෙන්වෙලා... ඒත් ඔවුන් කෙරෙහි එදා තිබුණු ලෙංගතුකම අදත් එහෙමමයි... ආයෙත් ඔවුන් දකින්න ලැබෙනවා නම්...

ඒ වගේම තමයි කලක්‌ ආදරයෙන් සිටි අයත් මේ විදිහටම එකිනෙකාගෙන් ඈත්වෙලා යනවා. ඒත් හිතේ තියෙන ආදරය... වෙනසක්‌ නැහැ. පාළුව තනිකම දැනෙද්දි ඒ රුව සොයන්න අපි කොතරම් වෙහෙසෙනවද...

Thursday, March 21, 2013

Me Nagaraya...

මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස්‌ පෙළ අප නැතුවත් තව දලුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්‌ක ආයෙත් එහි යන්න හිතෙනවා.

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනවා


සරසවියේ ගෙවෙන ජීවිතය... කටුකයි තමයි... ඒත් ඒ කටුකත්වයට එහා ගිය සුන්දර බව... ජීවිතයට ගෙන දෙන්නේ චමත්කාර සිතුම් පැතුම්

සරසවි අතරින් ඉතාම සොඳුරු පරිසර බිමක පිහිටි සරසවිය තියෙන්නේ කොහේද? ආයෙත් වචන දෙකක්‌ නැහැ... හන්තාන කඳු පංතියේ සෙවනැල්ල වැටෙන පේරාදෙණිය... කාගෙත් පිළිතුර එයම තමයි...

Damayannata Noheki Mihimatha

දමායන්නට නොහැකි මිහි මත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි...


බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක්‌වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්‌මය
සසර මග දකිනා...
 


බැඳුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ නියත නික්‌මන
සියලු බැමි බිඳිනා
 


මිනිසුන් වන අපට කොතරම් බැඳීම් තියෙනවද.... දේපළ වස්‌තුව මිල මුදල් දරුවන් බිරිඳ... සැමියා මේ හැම දෙයක්‌ම බැඳීම්. මේවාට ලොබ බැඳෙන හිත......... අවසන් හුස්‌ම පොද හෙළන්නේ තන්හාවෙන්...

දමායන්නට නොහැකි මිහි මත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

Tuesday, March 12, 2013

Lowama Epa Wee

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ...
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...


අසා අසෝබන නින්දා ගැරහුම්
වැළහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ


ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුණු සිත උණුසුම් වේ....
 
 



අපි හැම කෙනෙක්‌ම අසරණ වන අවස්‌ථා තියෙනවා. ඒ වෙලාවට වචනයකින් හරි අප සනසන කෙනෙක්‌ ඇත්නම්. එය අපට කෙතරම් සුවයක්‌ද.......

කෙනකුට තවත් කෙනකුගේ ආදරය වැඩියෙන්ම දැනෙන්නේ ඔහු හෝ ඈ අසරණ වූ මොහොතකයි.

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ...
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...

Wesak Labanawa



වෙසක්‌ ලබනවා තොරන් බඳිනවා
තැන තැන දන්සැල් ඉදිවෙනවා
වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු
ආයෙත් සිරිලක රජවෙනවා...

වෙසක්‌ ගෙවෙනවා තොරන් ලිහෙනවා
දන්සැල් කාලය නිමැවෙනවා
වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු
ආයෙත් රජකම හැර යනවා...

වෙසක්‌ කාලෙටයි කාගෙත් පිංකම්
කාට පේන්නද අනෙ මන්දා
නම්බු රැකීමයි නිවන් දැකීමයි
එකමඟ යන්නේ කොහොමද මන්දා...

 

වෙසක්‌ කියන්නේ සීමාවක්‌ නැතිව පින්දහම් කරන කාලයක්‌.. සම්බුදු හිමියන්ගේ තෙමඟුල සිහි කරමින් ප්‍රතිපත්ති පූජාවලත්, ආමිස පූජාවලත් නියෑලෙන්නේ සැදැහැ සිතින්.

වෙසක්‌ උත්සවයට අපේ සැදැහැවතුන් සූදානම් වන්නේ දින ගණනාවක ඉඳලා...

වෙසක්‌ ලබනවා තොරන් බඳිනවා
තැන තැන දන්සැල් ඉදිවෙනවා
වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු
ආයෙත් සිරිලක රජවෙනවා...

Me Prathama Wasanthayai

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟුරැව් නැඟෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු නැඟෙන තුරා නිදිබර අඹරේ
සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක්‌ සේ පායා
පහන් රැයක්‌ වී ආවේ

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදී කතරේ
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී
වසන්තයක්‌ වී ආවේ

ගිම්හානය පලා ගිහිං..... ගහකොළ අතුරිකිලිs මලින් බර වෙලා... ඒ මල් සුවඳ මුසුව හමා එන සිහිල් සුළං රැල්ල.... නැවුම් හැඟුම්වලින් ගත සිත පුබුදුවනවා.. වසත්කාලය ඇවිදින්... කොයිතරම් සුන්දරද.......

තනිකම..... හුදෙකලාව සමඟ කාලාන්තරයක්‌ ජීවත් වූ තරුණයකුගේ හදවතට මල් හීසර පහර වැදුණොත්.... වසන්ත කාලය වගේ හිතපුරා මල් පිපෙනවා. උපදින නැවුම් සිතිවිලි.. කෙළවරක්‌ නැහැ... අපේක්‍ෂාවන් ප්‍රාර්ථනාවන් වැහි වහිනවා........

Wednesday, February 27, 2013

Kandula Ithin Samaweyan

කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න

කළුවළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දැවට
මුදුන් ලීය යටින් පොළොවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා සඳ පායා
සඳරැස්‌ යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පෙති ගෝමර මල් දකින්න

මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්‌
ගෙපැල දොරින් හමා එන්න
ඉඩදීයන් වළාකුළේ
මගෙ සිහිනයෙ මල් පිපෙන්න


 
හිරිමල් යෞවනය කියන්නේ හිතපුරා පෙම්මල් පූදින කාලය පැණි වැහෙන කාලය කියලත් කියනවා. මේ වයසට නැඟෙන සිතුවිලි හරිම පෙම්බරයි. දැරියක්‌ ඉල්ලන කාලෙනෙ.... ඉලන්දාරි වයස කියලනෙ කියන්නේ තනි යහනෙ සිටිද්දී හිතෙන දේ..... හැඟීම්.... අපමණයි.... තනිකම සහකාරියකගේ වුවමනාව වැඩියෙන්ම දැනෙනවා. තමන් ගැනම දුකකුත් ඇතිවෙන අවස්‌ථා තියෙනවා. තනිකම වැඩියෙන්ම දැනුනාම ඇසට කඳුළකුත් එනවා.

Gin Gedi Gin Gedi Gahen Kadagena

ගිං ගෙඩි ගිං ගෙඩි ගහෙන් කඩාගෙන
ගිංතොට නැන්දට ටිකක්‌ බෙදාගෙන
නංගියෙ විගහට මංකඩ ගාවට යං
අයියණ්‌ඩි ඇවිත් ඇති බං...

තාක්‌ක තෙයි තෙයි තාක්‌ක තෙයි තෙයි
තේක්‌ක මල් පිපිලා
ආං බලන් අර අයියගෙ මූණේ
වතුසුදු මල් පිපිලා
හාං කවිසියක්‌ දන්නෙම නැතුවා
හිත ආලෙන් පිරිලා
මාත් දන්නෙ නෑ කියන්නෙ කෝමද
හිත ගැන කට ඇරලා...

තාක්‌ක තෙයි තෙයි තාක්‌ක තෙයි තෙයි
තේක්‌ක මල් පිපිලා
අයියණ්‌ඩිගෙ කිරි කෝඩු හිනාවට
තේක්‌ක මල් ඉහිලා
මාත් එක්‌ක මනමාල හිනා පා
සීත සුළං නැටුවා
මගෙ මල් හීනය මල් ඕවිල්ලක
නැළවෙනු මට දැණුනා...


 

ගම සහ නගරය, ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස්‌. මේ වෙනස පෙම්වතුන්, පෙම්වතියන් අතර කෙරෙන ආදරය තුළින් ද දැකගන්න පුළුවන්.

ගමේ තරුණියක්‌ ආදරය කරන හැටි, අගනුවර තරුණියකගේ ආදරයට වඩා වෙනස්‌. සාමාන්‍යයෙන් ගමේ සුන්දර යුවතියන් හැඟීම් සඟවා ගන්නවා. ලාලිත්‍යය, ලැඡ්ජාශීලී බව වගේම ප්‍රේමය සමග එන බලාපොරොත්තු නාගරික යුවතියකට වඩා වෙනස්‌.

Siyabala Malak Obe Dothe Pipenakota

සියඹලා මලක්‌ ඔබ දෝතේ පිපෙනකොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට....

පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ
මේ සිත ඔබට ආදරෙයි............

නෙතු සිඹින පුරහඳ ලස්‌සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
සිහිනෙන් ඇවිදින් මගේ යහනේ
ඉන්න දෙව්දුව.............. 


 
කාගෙත් ඇස්‌ කන්වලින් මිදීලා නිදහසේ තනිවෙන්න ඇත්නම්.... ආදරවන්තයන් යුවළකට ඒ තරම් සතුටක්‌ තවත් නැහැ...... ඒ වෙලාවට ඔවුන්ට අවට කිසිම දෙයක්‌ ගැන නිනව්වක්‌ නැහැ..... ඒ අය ඉන්නේ ඒ අයටම වෙන්වූ සුන්දර ලෝකෙක.... කුඩයක්‌ යටට වෙලා මුහුදු වෙරළක, බංකුවක්‌ මතම හිඳ මල්වත්තක, අඳුරේ තුරුළු වී සිනමාශාලාවක.... මේ අය එකිනෙකාට කියන කතා..... පැණි වෑහෙන..... ආදර වදන්.... අත්දැකීම් නොලද්දවුන් සිටිත්ද...

Sada Rajani Aida Hengi

සඳ රාජිනී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී
සඳරාජිනී ඇයි ද හැංගී ඇයි ද හැංගී 

මේ රැයේ පාලුවේ... 

ඈ හා බැඳී ආවා එදා සමුගන්න මාගෙන් මිදීලා
මතකේ සදා සුවඳේ වෙලී සංසාරයේ ඉන්න මා හා
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ...
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ...
වේදනා යා කළේ... මායාව සේ...
වැළපෙන්න දෝ මේ ලෙසින්...
 


රෑ තුන්යමේ හඬනා මගෙන්
වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ
සුළඟේ රැඳී කාටත් හොරා
මාගේ ළඟින් ඉන්නදෝ...
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යා කළේ මායාව සේ
පළිගන්නදෝ මේ ලෙසින්....


  
මං ඔයාට ආදරේ කළ තරමට ඔයා මට ආදරේ කළා ද... සයුරු තලාවක... සුදුමුදු වැල්ලේ... මම ඔබේ තුරුලට වී හිටියා.... අපි දෙන්නා ගොඩාක්‌ දේ කතා කළා. තේරුමක්‌ ඇති දේට වඩා අපි කතා කළේ තේරුමකට නැති දේ.... ඒත් අපි එයින් සතුටක්‌ ලැබුවා... මං ඔයාට ආදරේ කළ හැටි... දන්නේ මේ ඉර හඳ ගස්‌ කොළං විතරමයි.... වැඩියෙන්ම ඒ ගැන හඳ සාක්‍ෂි දේවි... අපි දෙන්නගේ ආදරේ ගැන... අපි දෙන්නා හඳ එළියේ කොයිතරම් වෙලා තුරුළුවෙලා ආදර බස්‌ තෙපලුවද....

අනේ... ඒත් අද ... අද ඔයා මගෙන් වෙන්වෙලා... ඔයාගේ හදවතේ තවත් කෙනෙකුට ඉඩක්‌ දුන්නේ කොහොමද... සදා කාලයටම ඔයා මගේ... මං ඔයාගේ කියලා නේද අපි කතා කළේ... ඇයි මගෙන් වෙන්වෙන්න හිතුවේ... අද මම තනිවෙලා... එදා මාව තුරුළු කරගෙන හිටපු ඔයා අද... ඇය සමග... අපි ආදරේ කළ හැටි හොරැහින් බලා සිටි සඳු පවා අද නිහඬයි.... මේ පාලු රාත්‍රියේ.... මම තනිවෙලා වේදනා විඳිනවා... සඳ රාජනිය හැංගිලා... .අනේ මේ හදවතේ නැගෙන ගින්දර මාව දවා අළු කරාවි....


Tuesday, February 26, 2013

Pol Ruppawe Dagakala Sellam

පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

රෑ රැහැයි හෙළූ දුක්‌ ගීත රාවයේ//
සවනේ වැකුනේ ගොළුවූ හඬක්‌ ලෙසින්
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ//
කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්


 

ගම ලස්‌සන වෙන්නේ සොබාසුන්දරත්වය නිසා. ඇළ, දොළ, පන්සල, වෙල්යාය... කඳුවැටි.... නීල ගොයම.... ගම සුන්දර කරන ආභරණ... මේ සොඳුරු බව වැඩි කරන තවත් සාධකයක්‌ තියෙනවා. ඒ ගමේ පවුල් අතර තිබෙන සබැඳියාව හිතවත්කම.

ගමේ වැඩිහිටියන් එකමුතුව ඉන්නවා වගේම පුංචි දරුවනුත් එකිනෙකාට ලෙංගතුයි. රබර් වතු, පොල්වතු, බඩවැටිවල දුව පැන ඇවිදිමින් ඇළක දොළක පැන දියබුන් ගසමින් ගමේ ගෙවන ළමා කාලය... ගැහැනු පිරිමි වෙනසක්‌ නැහැ. ඒත් මේ ළමුන් වැඩිවියට එද්දී එදා සමහරුන්ගේ සිත් තුළ තිබූ ලෙංගතුකම ආදරයකට පෙරළෙනවා. ඇතැමුන් මේ ආදරය කෙළවර කරන්නේ විවාහයෙන්.

Paramitha Nopuramu apa Dedena

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ...
පාන සිනා සුළඟට විසි කරමු...
හමුවෙන හැම වාරේ...

කඳුළුවලින් දියවී යනවා නම්
අවිහිංසක රූපේ...
දෝර ගලන තුරු කඳුළු සලන්නම්
මට ඔබ නොපෙනෙන සේ...

මට ඔබ ඔබ මට පෙම්කළ තරමට
වෙන්වී යන්න බැරී...
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී...


 
සංසාරය කියන්නේ කෙළවරක්‌ නොදකින ගමනක්‌. මේ දි=ගු සසර ගමනේ දී අප හැම කෙනෙක්‌ම එක්‌ එක්‌ ආත්ම භවයන්හි උපදිනවා. සමහර විට අද එකට එක්‌ව සිටින දෙදෙනෙක්‌ ඊළඟ සංසාරයෙදීත් එකට එක්‌වෙනවා. ඒත් තවත් අයට සසරින් සසර එහෙම එක්‌වෙන්න ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනෙක්‌ පෙරුම් පුරනවා. මීළඟ සංසාරෙදිත් අප එකටම උපදීවා කියලා.

Thahanam adaraye Awasan Belma Diha

තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා//
මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා

ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ//
මල්වරව දෙතොල් අනුරතිය යදී
මදෙස බලා හිඳිනු කෙසේ දෝ උමතු නොවී

පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැතී
විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී//
මා වියරු වෙවී හිරි ඔතප් රකී
ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ


 
අපි ජීවත්වන මේ ලෝකයේ හැම දෙයක්‌ම සම්මත විදිහට සිද්ධ වෙනවානම්... ඒත්... එහෙම වෙන්නේ නැහැ. සම්මතයට පිටුපා යන දේ කොතරම් නම් අප වසන සමාජය තුළ සිදුවේද... එවැනි අසම්මත දැ කොතෙක්‌ ඔබට හා මට අත්දකින්නට සිදුව ඇත්ද