Thursday, March 21, 2013

Damayannata Noheki Mihimatha

දමායන්නට නොහැකි මිහි මත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි...


බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක්‌වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්‌මය
සසර මග දකිනා...
 


බැඳුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ නියත නික්‌මන
සියලු බැමි බිඳිනා
 


මිනිසුන් වන අපට කොතරම් බැඳීම් තියෙනවද.... දේපළ වස්‌තුව මිල මුදල් දරුවන් බිරිඳ... සැමියා මේ හැම දෙයක්‌ම බැඳීම්. මේවාට ලොබ බැඳෙන හිත......... අවසන් හුස්‌ම පොද හෙළන්නේ තන්හාවෙන්...

දමායන්නට නොහැකි මිහි මත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි


අපිට මේ හැම දෙයක්‌ම හැර දමායන්න පුළුවන්......ඒත් ඒත් එකම එක බැඳීමක්‌ තියෙනවා. ඒ ඔබයි. මේ ලෝකයේ මට හැම දෙයක්‌ම අතැර යන්න පුළුවන්. ඒත් ඒ එක සම්පතක්‌ හැර .... ඒ ඔබයි..... ඔබට තිබෙන බැඳීමෙන්... මා මිදී යන්නේ කොහොමද?

ජීවිතයේ අනියත බව..... ඉතාම හැඟුම්බර පද පෙළකින් ගයන්නේ සෝමතිලක ජයමහ... මේ ගැයුම් පද කුලරත්න ආරියවංශගේ. ගීය ලියන්න කුලරත්නට හේතු පාදක වූ කාරණාවත් ඉතාම සංවේදී අවස්‌ථාවක්‌.

ධර්මසිරි ගමගේ... අපේ සොහොයුරා ගේ මරණය හදිසියේ සිදු වූවක්‌...... අදහා ගන්නත් බැහැ. හොඳට හිටපු මිනිසෙක්‌. හදිසියේ මියයැම කොතරම් කම්පනයක්‌ද ධර්මසිරි පාසල් කාලයේ පටන් මා හඳුනාගෙන සිටි ඉතා සමීප හිතවතා. මේ වියෝව අපට හරියට බලපෑවා මේ වගේ රටට වටිනා අය..... අවසානයේදී ඉතින් හැමදෙයක්‌ම හැම කෙනෙක්‌ම දාලා යන්න වෙනවා.

එදා මරණෙට ගියාම මට ඇතිවුණු සිතිවිල්ල තමයි ඒ. අපිට කිසිම දෙයක්‌ ස්‌ථිර නැහැනේ. අපි නොසිතූ වෙලාවක හැම දෙයක්‌ම දාලා යන්න වෙනවා. කුලරත්න ආරියවංශ ගීයේ නිමිත්ත එසේ හෙළිකළා. ගීතය ගැන අසද්දී සෝමතිලක ජයමහ ශිල්පියාද ජීවිතයේ අනියත බව මෙනෙහි කළා.

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක්‌වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්‌මය
සසර මග දකිනා

දුකේදීත් සැපේදීත් එකට සිටි අය මල් මෙන් පරව යද්දී..... ලෝකයේ අනියත බව සිහිපත් වෙනවා. මේ ජීවිතය සිහිනයක්‌. එය සංසාරයේ මංපෙත් අපට පෙන්වන හීනයක්‌.

සැපසම්පත් හැමදේම අපට දාලා යන්න පුළුවන්. ඒත් දූ දරුවන් බිරිය සැමියා කෙසේනම් වාවන් ද ඒ අය ගැන හිතද්දී. ඒත් හිතට සහනයක්‌ දැනෙනවා. දියණිය ගැන හිතද්දී පුතා ගැන හිතද්දී දුවනියට කවදා හෝ සැමියෙක්‌ ලැබේවි. පුතාට බිරියක්‌ ලැබේවි. එතැන් සිට ඔවුන්ට ජීවිතය ගෙන යා හැකියි. ඒaත් ඒත් ජීවිතයේ මෙතෙක්‌ දුර එන්නට අත්වැල සැපයූ වෙර වීරිය ලබාදුන් බිරිය අතැර යන්නේ කොහොමද.... තනි නොතනියට ළඟ උන් ඈ..... මින් පසු හුදෙකලා වේවි. දමායන්නට බැරි වටිනාම සම්පත ඇයයි.

බැඳුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ නියත නික්‌මන
සියලු බැමි බිඳිනා

ඉමක්‌ කොනක්‌ නොපෙනෙනා මේ බැඳි සෙනෙහස ප්‍රාණවායුව සමග බද්ධ වෙලා. ඒත් මේ අත්වැල ගිලිහෙන දවසක්‌ කවදා හෝ උදාවෙනවා. ඒක නියතයක්‌. ඉතින් සෑම බැඳීමක්‌ම බිඳ දමමින් ඒ නියත ගමන යායුතු වෙනවා.

ජීවිතය හා මරණය.. කුලරත්න ආරියවංශගේ. මේ පද පෙළින් හැඟුම්බර ලෙස අපට කියාදෙන පාඩම පැහැදිලියි.

ධර්මසිරි ගමගේ සොහොයුරාගේ මරණයට සහභාගි වූ මට ඇති වූ කම්පනය මා නැති වූ කාලෙක හුදෙකලා වන මගේ බිරිඳ ගැන ඇතිවූ අනුකම්පාව මේ සිතිවිල තමයි මා අතින් ලියෑවුණේ. මම පද පෙළ සෝමතිලකට දීලා තනුවක්‌ දාලා ගයන්න කිව්ව. නෑ තනුව දාන්න රෝහණ වීරසිංහට දෙමු කියා සෝමතිලක කිව්වා.

කුලරත්න, සෝමතිලක රෝහණ සම්මාදමෙන් හැදුන මේ ගීතය කාටත් පොදු වූවක්‌.... ඕනෑම කෙනකුගේ හදවතට දැනෙන ගීයක්‌....



ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - රෝහණ වීරසිංහ
පදමාලාව - කුලරත්න ආරියවංශ

 
Source: