Tuesday, April 2, 2013

Apasu Yannata Para Kiyanawada

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි...

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ


ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි.

තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක්‌ විතරයි.


ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි

මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක්‌ නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්‌.. ඒත් මෙතැන විරහවක්‌ නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක්‌ තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ.

මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්‌. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්‌.

මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක්‌ විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක්‌ ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක්‌ අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ.

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි මේ වෙනතුරු කොතරම් දුරක්‌ ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්‌. අපි මේතාක්‌ දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා.

මේක මගේ අත්දැකීමක්‌ නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක්‌ වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්‌. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක්‌ ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා.

කල්ප කාලයක්‌ පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි කල්ප ගණනාවක්‌ පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ.

අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක්‌ සහ පුතෙක්‌ ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක්‌ වුණත් මේ ගීය ඇත්තක්‌ වුණේ නැහැනේ.



 පද මාලාව - හේසල ගුණතිලක
ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි


Source:
 

No comments:

Post a Comment