Wednesday, May 6, 2015

Anna Balan Bera Hadin Udam Wee

අන්න බලන් බෙර හඬින් උදම් වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්‌කම කැරකෙන අන්දම්

අනන්ත වූ බර හිසින් දරාගෙන
වෙස්‌ තට්‌ටුව පැළඳුව සිරසේ
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස්‌
රනේ රුවට නළලත දිළිසේ

අවුල්හැරෙන් ඉණ හැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය
කනට වෙනින් කිසිවක්‌ නෑසේ

කෙනෙක්‌ අසරණ වුණාම... විඳින හිත් වේදනාව දරාගන්න බැහැ. ජීවිත ගමනේදී අසරණ වන බොහෝ දෙනෙකුට තනිවෙන්නත් සිද්ධවෙනවා. තනිවෙන්නෙ නැහැ. සමාජය විසින් ඔවුන්ව තනි කරනවා. එවිට ඉපිද එන දුක හදවත පැලෙන තරමේ දුකක්‌.

මේ වගේ අසරණ වුණු කීදෙනෙක්‌ විඳින වේදනාව සඟවාගෙන සමාජයට මුහුණ දෙනවාද. හදවතින් විඳින වේදනාව සඟවාගෙන අනෙකා සතුටු කරන කීදෙනෙක්‌ මේ සමාජයේ වෙසෙනවාද....


බොහෝ විට අපට සතුට ගෙන එන කලා ශිල්පීන් අප පිනවන්නේ ජීවිතයේ දුක කඳුළ හිතේ සඟවාගෙන. බණ්‌ඩාර ඇහැළියගොඩ අපේ ප්‍රවීණ ගී පද රචකයා ලියූ මේ ගීය ඊට කදිම සාක්‌කියකි.

අන්න බලන් බෙර හඬින් උදම් වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්‌කම කැරකෙන අන්දම්

ඇහැළියගොඩ සහෘදයා මේ ගීයෙන් කියන්නේ වෙස්‌ නැටුම් ශිල්පියෙක්‌ ගැන. ඔහු ලියූ සෑම ගීයකටම පාදක වූ කතාවක්‌ තියෙනවා. මේ ගීයටත් එහෙමයි.

මගේ මහප්පා... සුප්‍රසිද්ධ නැට්‌ටුවෙක්‌ වගේම හොඳ කවියෙක්‌. පළාතේ සංදර්ශන, තොවිල්, ගම්මඩුවලට ඔහු නැතිවම බැරිවුණා. ඒත් කලක්‌ යද්දි මහප්පාට මුඛ පිළිකාවක්‌ හැදුණා. කටේ පැත්තක්‌ තුවාල වුණා. දුර්ගන්ධයකුත් හමන්න පටන් ගත්තා. නටද්දි ඔහු වටා සිටි, ඔහුට ආදරය කළ අය ඈත්වෙන්න පටන් ගත්තා... වෙස්‌ තට්‌ටුව ඇඳුම් පැළඳුම් අතපත ගෑ උදවිය ලෙඩ වූ පසු ළඟටවත් ආවේ නැහැ. මියගියාට පසු දුප්පත් විදිහට ලෑලි පෙට්‌ටියක දමලා අවසන් කටයුතු කළා. කලක්‌ ඔහුගේ නැටුමට වශී වී සිටි අය, ආදරය සහ වර්ණනා කළ කිසිම කෙනෙක්‌ අන්තිම මොහොතේ මේ ශිල්පියා සමග සිටියේ නෑ.

ඇහැළියගොඩ ගී පද රචකයා මේ ගීයෙන් පවසන්නේ අපේ සියලුම කලා ශිල්පීන් තම ජීවිතයේදී මුහුණ දෙන දුක්‌ඛ දෝමනස්‌සයන් ගැන නොවේද?

අනන්ත වූ බර හිසින් දරාගෙන
වෙස්‌ තට්‌ටුව පැළඳුව සිරසේ
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලීගොස්‌
රනේ රුවට නළලත දිළිසේ

බෙරහඬින් උදම් වී පාද ගිගිරි සොලවමින්, දෑත තාලයට වනමින් නටන වෙස්‌ නැට්‌ටුවා උඩ පැන මාලක්‌කම කැරකෙද්දී එදෙස බලා සිටින්නවුන්ගේ ප්‍රීති ඝෝෂාව, අත්පොළසන් හඬ... ප්‍රතිචාර ඉහළයි.

ඒත්... මේ ශිල්පියා අසරණයෙක්‌... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුප්පතෙක්‌... දරුවන්ගේ අධ්‍යාපනය, ගෙවල් කුලී... බඩගින්න... නැටුවාට මේ සියලු බර ඔහුගේ හිස මත... ඒත් ඒ සැම බරක්‌ම හිස පැළැඳි වෙස්‌ තට්‌ටුවෙන් වැසී ගිහින්. කොතරම් නැටුවත් දුප්පත්කම දුක කුසගින්න... නළල් තලයේ රන්වන් පාටින් දිලිසෙන්නේ වෙස්‌ තට්‌ටුවේ දීප්තිය නොවේ. ඔහුගේ කුසෙන් නැග එන ගිනි දැල්...

අවුල්හැරෙන් ඉණහැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය
කනට වෙනින් කිසිවක්‌ නෑසේ

ජවය පෙන්වමින් කස්‌තිරම් ඇල්ලුවත් මේ ශිල්පියාගේ දිරාපත් වූ කය පැළැඳි ඇඳුම් ආයිත්තම් වලට ආවරණය වෙලා. තාලෙට ඇසෙන්නේ දවුල් හඬ මිස දුප්පත්කමේ දෝංකාරය නොවේ. ඒත් ඔහු මෙතරම් බරක්‌, දුකක්‌ දරා සිටින්නෙක්‌ බව ඔහු දෙස බලා සිටින කිසිවකු නොදනී. මේ තමයි අපේ කලා ශිල්පීන්ගේ ඇතුළු පැත්ත. මේ හා සමාන තවත් ගීතයක්‌ අපට අසන්නට ලැබෙනවා. ගයන්නේ ජානක වික්‍රමසිංහ.

කිරුළ මුතුලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තනතන තාන තම් දෙනා

බණ්‌ඩාර ඇහැළියගොඩ අද අප කතා කරන ගීතය රචනා කළේ ඔහු ගීත රචනා ක්‍ෂේත්‍රයට ආ මුල් අවධියේදී.

"මගේ තිරය ඇරෙනවා තිරය වැහෙනවා"

ගීය රචනා කළේත් ඔය කාලෙදිමයි. දෙකම එකම තාලය. ගීත දෙකේම තියෙන්නේ එකම මාත්‍රා ගණන. ඒත් රෝහණ වීරසිංහ මගේ ගීයේ අර්ථය උද්දීපනය කළා. මගේ නාද මාලාව සුණු විසුණු කරලා ඔහු වෙනම ගීතයක්‌ කළා. ඒත් රෝහණ කිසිම දවසක ඒ ගැන ආඩම්බරෙන් කතා කළේ නැහැ. ගීත දෙකේම මාත්‍රා ගණන එකක්‌ වුණත් රෝහණ වෙනම බෙර කවි තාලවලට පරිවර්තනය කරලා මේ ගීයේ තනුව සහ සංගීත සංයෝජනය නිර්මාණය කළා. ඒ වගේම එඩ්වඩ්ගේ හඬත් ගීතයට අපූරුවට ගැලපුණා. රවින්ද්‍ර මුණසිංහ නිර්මාණය කළ රූප රචනාව නිසා මේ ගීතයට වඩාත් වැඩි අගයක්‌ එකතු වුණා.


පදමාලාව - බණ්‌ඩාර ඇහැළියගොඩ
සංගීතය - 
රෝහණ වීරසිංහ
ගායනය - 
විශාරද එඩ්වඩ් ජයකොඩි


Source :http://www.divaina.com/2010/12/26/meewitha05.html

No comments:

Post a Comment