Thursday, July 7, 2011

Malak Une ayi nuba mata

මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවද සලන..
එනමුදු සිප ගන්නට තහනම්..
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින..
දිය දෝතක් බොන්නට තහනම්..

පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්..
කියන්න.. මලක් වුණේ...

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොදුරැ වදන්
මුමුණනු කෙලෙසින්..
කියන්න.. මලක් වුණේ...





මලක සුවඳ විඳින්න කවුරුත් කැමැතියි. මලේ සුවඳ වඩාත් හොඳින් දැනෙන්න නම් ඒ මල සිපගන්න ඕනෑ. ඒකට මලෙන් අවසර ගන්න ඕනෙත් නැහැ.

සුවඳ මලක්‌ සිපගනිද්දි ආදර හැඟුම් මෝදුවන බව දන්නවද. සමහරු මලක්‌ සිප එහි සුවඳ විඳිනවා. තවත් සමහරු මල දෙස බලා සිට මිහිරක්‌ විඳිනවා. මේ දෙපිරිසම මලට ආදරෙයි. ගොඩක්‌ ආදරෙයි. දවසක මේ මල පරව යන බවවත් මතකයට එන්නේ නැහැ. ඒ තරමටම මලට ආදරෙයි.

මලක්‌ වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක්‌ වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දොතක්‌ බොන්නට තහනම්

ඔයා මගේ ජීවිතේම සුවඳවත් කරන මලක්‌. ඒත් මට සිපගන්න අවසරයක්‌ නැහැ. සිපගන්න තහනම් නම් ඇයි ඔයා මලක්‌ වෙලා මගේ ජීවිතේට සුවඳ සලන්නේ. ඔයා මගේ ජීවිතයට සිසිලස ගෙන දෙන විලක්‌. ඒත්... ඒත්. මට දියබිඳක්‌ බොන්නවත් අවසරයක්‌ නැහැ. ඇයි එහෙම වුණේ.

සමහරු හිතයි මේක අසම්මත එහෙමත් නැත්නම් තහනම් පෙමක්‌ ගැන ලියෑවුණු ගීයක්‌ කියලා. තවත් සමහරු හිතන්න පුළුවන් මෙය සම්මත ප්‍රේමයක්‌ ගැන කියන ගීතයක්‌ කියලත්. තහනමක්‌ නැහැ. මේ ප්‍රේමවන්තයා මේ ගීය ගයන්නේ තමන්ගේ සම්මත ප්‍රේමවන්තියට කියල හිතන්නත්, නැත්නම් අසම්මත පෙම්වතියට කියලා හිතන්නත් ඕනෑම කෙනකුට අවසර තිබෙනවා.

සමන් අතාවුදහෙට්‌ටි.... ගීයේ රචකයා... මේ ගීයෙ පද පෙළ ඇමිණුවේ සමන් බව නොදන්නා බොහෝ දෙනෙක්‌ මෙතැන් පටන් එය දැනගනීවි.

මුල් කාලයේ අමරසිරි පීරිස්‌ සරල ගී වැඩසටහන් කරද්දී වෙනස්‌ විදිහේ ගීයක්‌ ඔහුට නිර්මාණය කරන්න මමත් කළණි පෙරේරාත් උත්සාහ කළා. අපි තුන් දෙනාම දවසක හවසක කතා කළා. අපිට බැරිද ගිටාරය වැනි වාදන භාණ්‌ඩයකට බර දාල ගීයක්‌ හදන්න කියලා. අන්තිමේ ඒ ගීය ලියන්න මටම පැවරුණා. ඒක තමයි මේ ගීය..

පහන් තාරකාවක්‌ සේ
ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්
කියන්න
මලක්‌ වුණේ ඇයි නුඹ මට

ඔයා මගේ ජීවිතයට මඟපෙන්වන පහන් තරුවක්‌. ඒත් තාරුකා එළියෙන් මගේ හදවත නමැති පහන දල්වන්න පුළුවන්ද... කියන්න..... ඇයි ඔයා මගේ ජීවිතයට සුවඳ එක්‌කරන මලක්‌ වුණේ කියලා.

සමහර විට පෙර කීවාක්‌ මෙන් මේ පෙම්වතා එක්‌කෝ විවාහකයෙක්‌. තහනම් ප්‍රේමවන්තියගේ පහස නොලැබීමේ දුකට ඔහු මෙසේ වැළපෙනවා වෙන්න පුලුවන්. නැත්නම් මේ ඔහුගේ සැබෑම ප්‍රේමවන්තිය වෙන්නත් පුලුවන්. ඇය ඔහුගේ බිරිය නොවේ යෑයි කෙනකුට කියන්නත් බැහැ.

අපි සමන් අතාවුදහෙට්‌ටිට ආයෙත් සවන් දෙමු.

මේ ගීය අහලා මුලින්ම සුදත් දේවප්‍රිය මට කියපු දෙයක්‌ තමයි මචං මේක අපේ ජාතික ගීය කියලා. ඒ කියන්නේ ප්‍රේමවන්තයින්ගේ ජාතික ගීය කියලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මට කිව්වා "සමන් මම ලියපු ඔක්‌කොම සිංදු ටික උඹට දෙන්නම්. උඹ මට මේ සිංදුව විතරක්‌ දියං" කියලා. මේ ගීය ඇතුළත් කැසට්‌ පටය එළිදක්‌වද්දි ආචාර්ය සුනිල් විඡේසිරිවර්ධන විවරණයක්‌ කළා. පදරචනය, සංගීතය සහ ගායනය අනුව මේ ගීය අසද්දී රූපමය සත්කාරයකුත් නිරායාසයෙන්ම සිදුවෙනවා කියලා. මට දැනෙන්නේ ගෙදරක සඳළුතලයක පෙම්වතිය සිටිද්දී පෙම්වතා ඒ ඉදිරිපස පාරේ දණ ගසාගෙන ගිටාරය වයමින් මේ ගීය ගයන චිත්‍රය මට මැවෙනවා කියලා ඔහු කිව්වා.

සහන් ගීතිකාවක්‌ සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙළෙසින්
කියන්න
මලක්‌ වුණේ ඇයි නුඹ මට

ඔයා සහනය ගෙන දෙන ගීයක්‌ වගේ. මගේ ජීවන ගමනේ ගිමන නිවාලූවත් මම කොහොමද ඒ ගීතයෙ සුන්දර වචන මුමුණන්නේ. කියන්න ඇයි ඔයා මගේ ජීවිතේට මලක්‌ වෙලා ආවේ කියලා.

මේ ගීතය මගේ හුදෙකලා අත්දැකීමක්‌ නම් නොවේ. අත්දැකීම් සම්භාරයක එකතුවක්‌. සමන් ගීයට නිමිත්ත සඳහන් කළේ එහෙමයි.

කොහොම වුණත් මේ ගීය ඔය කියන ආකාරයට පෙම්වතුන්ගේ ජාතික ගීය බවට පත්වුණේ ඇයි? ඒකට හේතුවක්‌ තියෙනවා. එක එක පෙම්වතාට තම තමන්ගේ ප්‍රේම සිතිවිලි, අත්දැකීම් අනුව මේ ගීය තමන්ගේ කරගත හැකියි. ඒක සමහර විට තහනම් ආදරයක්‌ වෙන්න පුලුවන්. නැත්නම් සම්මත පෙමක්‌ වෙන්නත් පුළුවන්.


No comments:

Post a Comment