Wednesday, April 26, 2017

Budu Hamuduruwo Wediya Wagei | Story behind the Sinhala songs

බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ

දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ
මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ

අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා
නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙළිලොල් කම් පිරි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි...

බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ


ගායනය : සනත් නන්දසිරි/ මල්කාන්ති නන්දසිරි
සංගීතය : සනත් නන්දසිරි
පද රචනය : සනත් නන්දසිරි







ගීතයකට සමාජයේ කොයිතරම් නම් අහුමුළු සිදුවීම් ස්පර්ශ කරන්න පුළුවන්ද? ප්‍රේමය කියන්නෙ තරුණියක තරුණයෙකු අතර ඇති වන සෙනෙහසම පමණක්ද? මේකත් එක්තරා ප්‍රේමයක්..

ජීවිතේ යන මග වැරදිච්ච තරුණයෙක් ආපහු හැරෙන්නටම බැරි මංසලක ඉඳගෙන කරන එක්තරා පාපොච්චාරණයක් කිව්වොත් නිවැරදියි නේද? තමන් විසින්ම තෝරාගත්ත ජීවිතයක අවසානය වෙන්නෙ පෝරකය. කීදාහක් නම් බලාපොරොත්තු ආශාවන් පසුපස්සෙ මේ කාලය ඇතුළත අපේ හිත දුවනවද? සමහරු ජීවිතේ සතුට හොයන්නෙ කොයිතරම් නුසුදුසු දේවල් පසුපසද කියලා වැටහෙන්නෙ ආයෙමත් හදාගන්නට බැරි තරම් වැරදුණාට පස්සෙ.

තමන්ගෙ මරණය උදාවෙන බව නිසැකවම දැනගෙන තත්පරයෙන් තත්පරය ඒ මොහොත වෙනකල් බලාගෙන ඉන්න කෙනෙක්ගෙ සිතුම් පැතුම් කොහොම වෙන්න පුළුවන්ද? ඒ වගේ මොහොතක දෑස අභියසට එන ශාන්ත රුවකට හිත ඇතුළෙ දැවෙන ඒ ගින්දර නිවාලන්නට පුළුවන් නම්.. බුදු හාමුදුරුවන් ළඟ තියෙන සුවය ඔහුටත් ඒ භික්ෂූන් වහන්සේ තුළ දැනෙනවා. ඉතින් හරියටම බුදු හාමුදුරුවො දුටුවා වාගෙමයි. උන්වහන්සේගෙන් සරණක් අයැදිනවා.. බලන්න ඔහු විටෙක ඉල්ලන්නෙ තමන්ගෙ මවට තමන්ගෙ ගෙලලූ බව කියන ලෙසට.. තවත් විටක ඔහු ගෙලලන්නට ඉඩ නොදෙන ලෙසට.. ඒ කෙසේ වුවත් ඔහු සිය වරද පිළිබඳව දැන් පසු තැවෙනවා.. මරණයෙ දොරකඩ ඉතින් ඔහුගෙ අවසාන පැතුම ඔහුගෙ පළමු සෙනෙහස වුණු නැති දා ළඟ උන් ඇය.. අම්මා... දෙවෙනි අන්තරා කොටස අතර මගකින් නතර වෙනවා.. ඒ ඈ වෙනුවෙන්..

තමන්ගෙ දරුවකුගෙ මරණයක් දරා ගන්න තරම් අම්මා කෙනෙකුගෙ හිත ශක්තිමත් කරගන්න පුළුවන්ද? දරුවන් වෙනුවෙන් ආදරණීය අම්මා කෙනෙකුට කරන්න නොහැකි දෙයක් තියෙනවද.. ගීතයේ අතර මැදකින් ඇහෙන ඇගේ ශෝකාලාපය අසන්නා කම්පනයට පත් කරන්නට සමත් වෙන්නෙ නිරායාසයෙන්..

ගීතයේ පද පෙළටම උචිත තනුවත් හඬත් තවත් ඒ අදහස තීව්‍ර කරනවා.

Source : Amali Wasundara

No comments:

Post a Comment