Friday, January 31, 2014

Me Anantha Rathriye

මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ

අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුළින් තෙමී
තනිවේද මා අනේ

ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
අම්බරේහි සඳ නොවී
එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ




හුඟ දෙනෙක්‌ ආදරය කරන්නේ ඔවුනොවුන් එකිනෙකාට අයිතියි කියා හිතලා... ඒත්... මේ ආදරවන්තයන් බොහෝමයක්‌ම අයිති ඔවුන්ට නොවෙයි. වෙනත් අයට ඒ නිසා සමහරවිට මේ අය අසම්මත පෙමක රස බලන්නන්. ඒත් ආදරය කියන්නේ වෙන් වෙන්න පුලුවන් බැඳීමක්‌ද එය හරිම අමාරුයි තේරුම් ගන්න.


මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ

රාත්‍රිය අනන්තයි හඳ පෙනෙන්නටත් නැහැ හැංගිලා ඇය කොහේ ඇත්ද ඒ බව දන්නේ තාරුකා විතරයි. මේ රාත්‍රියේ ඈ කොහේ නිදනවාද

අතිශය දුක්‌බර වෙන්වීමක්‌ පෙරදී කීවාක්‌ මෙන් මේ අසම්මත ආදරයක්‌.

අපි මේ සිංදුව ලියූ තරුණයාට කතා කළා. ඔහු තනුජ සංජය ඔහු විවාහයට සූදානම් වෙනවා. තව දවස්‌ තුනකින් සංජය විවාහ වෙනවා.

සිංදුව නම් මගේ අත්දැකීමක්‌ නොවේ. ඔය සිංදුව ලියද්දි මම අපොස උසස්‌ පෙළ විභාගයට ඉගෙන ගන්නවා. 2002 දී විතර මගේ මිතුරෙකුගේ අත්දැකීමක්‌. කාලයක්‌ එකට සිටි දෙදෙනෙක්‌ පාසල් කාලයෙදිත් මේ අය පෙම්වතුන්. ඒත් ඒ දෙන්නාටම වෙන්වෙන්න සිද්ධ වුණා. දැන් මේ දෙන්නාම අයිති වෙනත් දෙදෙනකුට. එහෙම දැන දැනත් කිට්‌ටු වෙන්න තමයි හිතෙන්නේ.

අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

මේ පෙම්වතාත් පෙම්වතියත් සුසුම් හෙළනවා. ඒ වේදනාබර සුසුමන් ඒවා අන්ධකාරයේ ගිලිලා නොපෙනී යනවා. ඔහුගේ දෙනෙත් යුග කඳුළින් බොඳවෙලා. දැන් ඉතින් මා තනිවේවි. ඔහුට දුකක්‌ ඇතිවෙනවා.

මේ පෙම්වතුන් දෙදෙනාම අනුන්ගේ... එකතු වෙන්න බැහැ. ඔහුට නිතරම ඈ සිහිවෙනවා.

ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ

ඔහුගේ ජීවන ගමනේදී හරි මං කියාදුන්නේ ඇය. හරියට පාර කියන තාරකාවක්‌ වගේ. ඒත්... ඒත් දැන් ඇය නැහැ. ඒ තාරකාව සැඟවිලා ගිහින් ජීවිතේම අන්ධකාරය වෙළාගෙන..

මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලැබුවා. දැන් විශ්වවිද්‍යාල ජීවිතේට ආයුබෝවන් කියලා

රැකියාවක්‌ බලාපොරොත්තුවෙන් ඉන්නවා. දමිත් අසංකට මම තවත් ගීත කීපයක්‌ම ලියුවා. මේ අනන්ත රාත්‍රියේ ගීතයට තනුව සහ සංගීතය නිර්මාණය කළේත් මම. තනුජ තවත් විස්‌තර අපට කීවා. ඒ විවාහ උත්සවයේ වැඩවලට එහාට මෙහාට දුවන ගමන්...

අම්බරේහි සඳ නොවී
එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ

ආදරවන්තියේ... ඔයා මට අයිති නැහැ. හරියට අඹරේ පායන සඳ වගේ... හඳ අයිති අහසට ඒත් ඒ හඳ මට එළිය දෙනවා. ඔයාත් ඒ වගේ... මට අයිති නැති ඔයා සඳක්‌ නොවී මට එළිය දුන්නා ඒත්... දැන් ඒ හඳ නැහැ. මගේ ජිවිතේ අන්ධකාරයි.

දමිත් අසංක මේ ගීයෙන් රසික රසිකාවියන් බොහෝ දෙනෙකු අතරට ගියා. පදමාලාවෙන් දෙන අර්ථය වියෝව වඩාත් දැනෙන තනුව දමිත්ගේ දුක්‌බර හඬට වඩාත් හොඳින් ගැලපෙනවා.


ගායනය - දමිත් අසංග
පද රචනය, තනුව හා සංගීතය - තනුජ හේරත් 
 

No comments:

Post a Comment