Thursday, August 2, 2012

Priyea Nuba Upanupan jathi jathith Hamuwewaa



- දිවයින පුවත්පතේ වූ ප්‍රෙමකීර්ති නම් වූ සොදුරු මිනිසා පිළිබඳව වූ සටහනකින් උපුටා ගන්නා ලදී. -


 
ප්‍රේමකීර්ති ඉතාම හොඳ ගේය පද රචකයෙක්‌ නවකතාකරුවෙක්‌.... කවියෙක්‌... රූපවාහිනි, ගුවන්විදුලි නිවේදකයෙක්‌.. වැඩසටහන් නිෂ්පාදකවරයෙක්‌. මේ සියල්ලම හැරෙන්නට ප්‍රේමකීර්ති ද අල්විස්‌ කියන්නේ ඉතාම හොඳ චිත්‍ර ශිල්පියෙක්‌.... ඔහු ඇඳි චිත්‍ර අතළොස්‌සක්‌ දැන්....... දුව සුරංගනී සතුව තිබෙනවා. ඒ වගේම ප්‍රේමකීර්ති..... චිත්‍රපට දෙකක රඟපාලත් තියෙනව........ එය ඔහුගේ හිතේ තිබූ ආශාවක්‌ ඉෂ්ට වීමක්‌.... ප්‍රේමකීර්ති ගැන කතා කරනව නම් හුඟාක්‌ දේ කතා කළ හැකියි.

 

ප්‍රවීණ ගායක ආචාර්ය වික්‌ටර් රත්නායක

සහසක්‌ දොම්නස්‌ දුක්‌ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමදොa....

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි
සමයේ - මා සිටියානම්
සමිඳුනි ඔබෙ පිළිසරණ පතා
මම එමි බවඳුරු කතර ගෙවා

මේ ලෝකය දුකින් සන්තාපයෙන් පිරිලා... සොම්නස්‌ වෙනුවට හැමතැනම ඇත්තේ දොම්නස... මගේ හදවතේ ඉපිදෙන සිතිවිලි ගින්නෙන් දැවෙනවා.

ඒත්... සමිඳුනි.... ඔබවහන්සේගේ රූපය දුටු පමණින් මහදේ ගිනි නිවී යනවා. අනේ බුදු හිමියනි එදා දෙව්රම් වෙහෙරේ වැඩ සිටින කාලයේ මටත් ඉන්න ලැබුණා නම් එහෙමනම් මේ බවඳුර ගෙවාගෙන මම සමිඳුන්ගේ දෙපා මුලට පැමිණෙනවා.



ප්‍රේමකීර්ති ගැන ආයෙත් කතාකරන්න පටන් අරන්....අද ඔහු අප සමග සිටියානම් වයස අවුරුදු හැට පහක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්‌. ඒත් වයස අවුරුදු හතළිස්‌ දෙකේදී ප්‍රේමකීර්තිගේ ජීවිතය සාහසික දේශපාලනය විසින් උදුරා ගත්තා. ඔහුගේ වියෝව සිදුවී මෙම තිස්‌එක්‌ වැනිදාට අවුරුදු විසි තුනයි. ඒ නිසාම යළිත් ප්‍රේමකීර්ති ගැන ලියෑවෙනවා.

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දොaවා
දිව මතුරක්‌ වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළවූවා

ජීවිතයෙන් ජීවිතයක්‌ ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා.......

ආදරයේ උල්පත වූ අම්මා.......
මා ඔබගේ පුතු වූ.........
ඔබ මතු බුදුවන දවසේ.........
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන්
පැමිණෙන්නෙමි
අතැඟිල්ලේ එල්ලී.............

ප්‍රේමකීර්ති අම්මා දුටුවේ ඒ ආකාරයටය. උල්පතක දිය පහසුවෙන් නොසිඳේ... අම්මාගේ ආදරයත් එසේය. මව් සෙනෙහස කිසිදා අඩුවන්නේ නැත. අම්මා ආදරයේ උල්පතක්‌ යෑයි ප්‍රේමකීර්ති කීවේ එබැවිනි.

කොළඹදී උපන් ප්‍රේමකීර්ති මූලික අධ්‍යාපනය ලැබුවේ මාළිගාකන්ද මහ විදුහලිනි. පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන කාලයේදීම විද්‍යාලයේ වාර්ෂික සඟරාවේ කර්තෘවරයා ලෙසත්, මාසික පුවත්පතේ සම කර්තෘවරයා ලෙසත් ඔහු කටයුතු කළේය.

පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක්‌ විය. එනිසාම ප්‍රේමකීර්තිවද එහි සේවයට යෙදවීමට පියාගේ අදහස විණි. එහෙත් ඊට ප්‍රේමකීර්ති අකමැති විය. ඒ හැට දශකයේ මුලය. "දවස" පත්තර කාර්යාලයට ආ කොලු ගැටයෙක්‌ "විසිතුර" සිනමා පුවත්පතේ කර්තෘ ආතර් යූ. අමරසේන ඉදිරියේ සිට ගත්තේය. කොට කලිසමකින් සහ අත් කොට කමිසයකින් සැරසී සිටි මේ කොලු ගැටයා කර්තෘවරයාගේ මේසය ඉදිරිපිටට විත් "සර්" යෑයි කියා සිනාසුනේය. "සර්" මගේ නම "ප්‍රේමකීර්ති ද අල්විස්‌" ඉගෙන ගන්නේ ආනන්දේ යෑයි කියමින් මේ කොලු ගැටයා සිය මුවේ ඇති නළ දතක්‌ද පෙනෙන සේ යළි සිනාසුනේය.

"මේ ළමයා මේ පැත්තේ ආවේ අපෙන් මුතුත්........" ආතර් යූ. අමරසේනට ප්‍රශ්නය නිමා කරන්නට ඉඩ නොදුන් මේ කොලු ගැටයා "සර් මම කැමතියි විසිතුරට ලියන්න. මටත් අවස්‌ථාවක්‌ දෙන්න සර්" යෑයි කීවේය.

මේ පුවත්පත් කලාවට ලොල් අංකුරයක්‌ බව වටහාගත් ආතර් යූ. අමරසේන "මොනවද මේ ළමයා ලියන්න කැමැති" යෑයි ඇසුවේය. ගුවන් විදුලි ශිල්පීන් ගැන ලියන්න කැමැතියි. ප්‍රේමකීර්ති බයාදු ලෙස කීවේය. අමරසේනයන්ගේ කැමැත්ත ලබාගත් හේ රජකම ලද්දක්‌ මෙන් පිටව ගොස්‌ දින කීපයකට පසු යළි ආවේය. ඒ කරුණාරත්න අබේසේකරයන් සමඟ කළ සංවාදයක්‌ ඇසුරින් ලියූ ලිපියක්‌ද රැගෙනය. එම ලිපිය රසවත් බවින් කොතරම් අනූනදැයි කියනවා නම් ආතර් යූ. අමරසේන එය එක හුස්‌මට කියෑවීය. ඒ ප්‍රේමකීර්තිටම ආවේණික වූ මටසිලිටි භාෂා ශෛලියකි.

විසිතුරෙන් මාධ්‍ය ලෝකයට ආ මේ තරුණයාට ගුවන් විදුලියේ ළමා පිටියටද එක්‌වන්නට අවස්‌ථාව ලැබිණි. ඔහු පළමුව ගුවන් විදුලියට ගියේ ගීත ගායනයටය. එහෙත් ලැබුණේ මුද්දරය ගැන ලියූ පිටපතක්‌ ළමා පිටියෙන් කියවන්නටය. ඔහු පළමුවෙන්ම ගුවන් විදුලියෙන් තම කටහඬ පිට කළේය.

හැට නවයේදී ප්‍රේමකීර්ති ගුවන්විදුලි වැඩසටහනක්‌ ඉදිරිපත් කිරීමට ගුවන් විදුලියට එද්දී රූපා ඉන්දුමතී සහ මල්කාන්ති පිරීස්‌ (නන්දසිරි) ගීයක්‌ ගැයීමට පැමිණ සිටියහ. එහෙත් ඔවුන්ගේ ගීයේ පදමාලාවට අනුමැතිය ලැබී නොතිබිණි. ගීය එම අවස්‌ථාවේදීම පටිගත කළයුතුව තිබිණි. ඒ ප්‍රේමකීර්ති පුවත්පත්වලට කවි ලියන කාලයයි. රූපා සහ මල්කාන්ති, ප්‍රේමකීර්තිගේ මේ කවි දැක ඇත. වහා ඔහු අසලට ආ මේ දෙදෙනා "අද අපි දෙන්න කොහොම හරි ගායනා කළ යුතුමයි. ඒ නිසා අපිට සිංදුවක්‌ ලියල දෙන්න" ප්‍රේමකීර්තිගෙන් ඉල්ලා සිටියහ.

ප්‍රේමකීර්ති සාක්‌කුවේ තිබී කොළ කැබැල්ලක්‌ රැගෙන ඒ අසල බිත්තියට කොළ කැබැල්ල හේත්තු කර මෙසේ ලියුවේය.

හද පුද අසුනේ සෙනෙහස බැඳුනේ
යුගයක පියසටහන් මත්තෙන්
ජීවන මී බිඳු කඳුළක්‌ විලසයි
ඔහු ළඟ ඔබ මෙන් මා දැක්‌කේ.......

රූපා සහ මල්කාන්ති එක්‌ව ගැයූ මේ ගීය ප්‍රේමකීර්ති ලියූ පළමු ගීතයයි. බිත්තියට හේත්තු කර ගීයක්‌ ලියන ආකාරය දුටු මඩවල එස්‌. රත්නායකයන් ප්‍රේමකීර්තිට අවවාදයක්‌ කළේය. "ප්‍රේමකීර්ති බිත්තිවලට කණුවලට හේත්තුවෙලා සිංදු ලියන්න පුරුදු වෙන්න එපා. ලියනවා නම් කල්පනා කරලා ලියන්න පටන් ගන්නැයි" මඩවල රත්නායක කීවේය.

ප්‍රේමකීර්ති වරෙක තනි තරුවකට පෙම් බැන්දේය. ඔහු ආදරෙන් තරුව ඇමතුවේය.

තනි තරුවේ....... තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා.......
තනි තරුවේ............ තනි තරුවේ.....

(වික්‌ටර් රත්නායක)

ප්‍රේමකීර්ති විශිෂ්ට ගී පද රචකයෙකි. විශ්වයේ සත්සර නදට සිංහල භාෂාවේ චමත්කාරය මුසු කළ ගී පද රචකයෙකි. ඔහු එක්‌වීම ගැන මෙන්ම වෙන්වීම ගැනද ගීත ලියුවේය. ඔහු ලියූ ගීත ගැයූ ගායක ගායිකාවන් ගණන අති විශාලය. ඒ අතරින් ප්‍රේමකීර්ති හැදූ ගී වැඩිම ප්‍රමාණයක්‌ ගයන්නේ වික්‌ටර් රත්නායකයන්ය.

සිහින සතක්‌ දුටුවෙමි මම
සත් දවසක්‌ එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ...............

කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට දෙන්න
වීසි කළෙමි හදේ රැඳුන
ආදරයයි කරුණාවයි
කාටවත් නොදී........

පෙම්බර මධූ මගේ
මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ
මුවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ..............

අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්‌
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්‌
හඳපානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ....

මේ ආකාරයේ ගීත රැසක්‌ වික්‌ටර් නම් මිතුරා වෙනුවෙන් ලියූ ප්‍රේමකීර්ති බුදු ගුණ ගී ලිවීමෙහිද අති දක්‍ෂයෙක්‌ බව පෙන්නුම් කළේය.

සාගර ජලය මදි හිමි ගැන ලියන්නට
අහසේ තාරකා මදි ගුණ ගනින්නට
පොළොවේ වැලිවලින් බුදුගුණ මනින්නට
හඳටත් ඉරටවත් බෑ ගුණ කියන්නට

ගුවන් විදුලියේ සේවය කරද්දී එවක රජය විසින් ප්‍රේමකීර්තිට දේශපාලන මාරුවීමක්‌ ලැබ දුන්නේය. ඒ රජරටටය. ඒ වන විටත් ගුණදාස කපුගේද රජරට සේවයේ දඬුවම් මාරුවක්‌ විඳිමින් සිටියේය. රජරටදී ප්‍රේමකීර්තිට, කපුගේ, රන්බණ්‌ඩා සෙනෙවිරත්න, කරුණාරත්න දිවුල්ගනේ, රත්න ශ්‍රී විඡේසිංහ, මහින්ද දිසානායක, ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර වැනි අයගේ ඇසුර ලබන්නට අවස්‌ථාව ලැබිණි.

බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
කෝචිචියේ සිරගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඳලන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

සුනිල් එදිරිසිංහයන්ට ප්‍රේමකීර්ති ඒ ගීය ලියුවේ රජරටදි ලත් අත්දැකීම් ඔස්‌සේය.

අනන්තයට මා ඉගිලෙන
ඔබේ සිතුම් රේඛාවේ
අනාගතය ලියා තබමි
ඈත සොඳුරු ආකාසේ

පියමඳහස මුව මුකුළු මවා
මඳ සුළඟින් මවනු බිඳේ
මගෙ තනිකම පිස ලවන පවා
මට ගෙන එනු මැනවි හදේ

ශ්‍රිමතී තිලකරන්න ගයන ඒ ගී මෙන්ම පේරාදෙණියේ සරසවි බිම හන්තාන කඳු පෙළ ගැන රූපමය චිත්‍ර හද තුළ මවනා.......

මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි.......

පමණක්‌ නොව මර්වින් පෙරේරාටම සඳ මිඳුලට එනවා ගීයද ලියුවේ ප්‍රේමකීර්තිය.

ප්‍රේමකීර්ති.... දුම්වැටියක්‌ දල්වා එය දැවී අවසන් වන කාලය තුළදී ගීයක්‌ ලියයි. එවැනි කෙටි කලකදී ඔහු අතින් නිමැවෙන ගීත පරම්පරා ගණනාවක්‌ පවතී.

එදා රෑ ගුවන් තොටුපළේදී මා
වෙන් වී ගියේ...........
සිතකින් නොවේ.....

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ

දිනෙක රන් සළු පළඳා
සඳ නැඟි වේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි
කුමරිය පෙම් දොaළාවෙන්...........

මා හා එදා ප්‍රිය සාදයේ
සුරතේ වෙළී රැඟුවේ ඇයයි

මිල්ටන් මල්ලවාරච්චිට එවන් ගීත රැසක්‌ම ලියූ ප්‍රේමකීර්ති අතින් බිහිවූ ගීත කොතෙක්‌ ගැන කියන්නද... ලියන්නද....

දිනක්‌ ප්‍රෙඩී සිල්වාටද ප්‍රේමකීර්ති ලවා ගීයක්‌ රචනා කර ගැනීමට ආශාවක්‌ ඇතිවිය. ඒ ගීය වික්‌ටර් රත්නායකයන්ගේ සංගීතයෙන්ද හැඩකරගැනීමේ වුවමනාව ප්‍රෙඩීට තිබිණි. එකල වික්‌ටර් නාවල දියවන්නා විද්‍යාලයේ සංගීත ගුරුවරයාය. නිතර රජය මගින් දඬුවම් මාරුවලට ලක්‌වන ප්‍රේමකීර්ති ද එකල යාපනයේ සේවය කරමින් සිටියේය. කෙසේ වෙතත් තමන් ලියූ ගීයත් සමඟ ප්‍රෙඩී සිල්වාද කැටුව ප්‍රේමකීර්ති තනුවක්‌ තනා ගැනීමට වික්‌ටර්ගේ නිවසට ආවේය. ප්‍රෙඩීට ලියා තිබූ ගීයේ ඇතුළත් වූයේ ප්‍රේමකීර්ති යාපනයේදී ලද අත්දැකීම්ය.

මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්‌ඩෙ කඩන් හඳට අඬන්
සිංදු කියන්නේ කුණ්‌ඩුමනී...............

සමනළයා මල හා ළමයා සේ (එඩ්වඩ් ජයකොඩි), ආදරණීය නේරංජනා, රටකින් එහා ඉගිලී (ප්‍රියා සූරියසේන) මිනිසෙකු පිට නැගි අසුරුවෙකි (සුනිsල් එදිරිසිංහ) සුරංගීට දුක හිතිලා, (විශාරද නන්දා මාලනි) සිතින් මා නොසැලී සිටිද්දි (ටී. එම්. ජයරත්න) මා එක්‌කලා අමනාප වී දබර (මාලිනි බුලත්සිංහ), ප්‍රේමකීර්ති ලියා ඇති ජනප්‍රිය ගීත රාශියෙන් අතළොස්‌සකි.

මෝහෙන් මුළා වෙලා
මානෙන් උදම් වෙලා
තණ්‌හාව ක්‍රෝධ ද්වේෂ මානේ
මිනිසා කොහේද මේ
රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ
මිනිස්‌ ගුණේ සැමදා බැබැළේ
එය රැකීම අප උරුමේ වෙයි..........

ප්‍රේමකීර්ති ගී පද රචකයෙක්‌ පමණක්‌ නොවේ. සොඳුරු සන්නිවේදකයෙක්‌. ගුවන් විදුලියෙන් පෙන්වූ ඔහුගේ නිවේදන නිපුණත්වය රූපවාහිනියෙන්ද තහවුරු කළේය.

අසන්නන් සමග සජීවී දුරකථන සංවාද, වැඩසටහන්වලට හඳුන්වා දුන් ප්‍රේමකීර්ති එම සංකල්පය රූපවාහිනියටද ගෙන ආවේය.

ප්‍රේමකීර්ති යනු සංවේදී මිනිසෙකි. දස දහසක්‌ මිනිසුනට ගුවන් විදුලියෙන් ආදරය පෙන්වූ ඔහුටද පෙරළා ආදරය කරන්නට ශ්‍රාවකයන් පෙළැඹිණි. ප්‍රේමකීර්ති රූප සම්පත්තියෙන් කඩවසම් පෙනුමක්‌ නොපෙන්වුවත් රූපවාහිනි ප්‍රේක්‍ෂකයෝ ඔහුට පෙම් බැන්දේය.

ප්‍රේමකීර්ති ගී තනු උල්පතකි. නිවේදකයකු ලෙසද ඔහුගේ මුවින් වදන් ගලා ආවේ උල්පතින් දිය ගලන්නාක්‌ ලෙසය. එහෙත් ඒ කිසිවක්‌ නිසරු වදන් නොවේ. අද නිවේදකයන් දොඩවන වාචාල කතා එදා ප්‍රේමකීර්තිගේ මුවින් පිටවූයේ නැත. ඔහුගේ මුවින් පිටවන වදන්වල මෙන්ම ලියෑවෙන ගීත වලද ඇත්තේ ජීවිතය පිළිබඳ ලෙංගතු ආදර්ශයන්ය.

මතකය නම් වූ මළ පොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අතමිට මොළවාගත්
දැතෙහි දසැඟිලි දිග හරිනු මැනව
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත
හිස්‌ බවෙකිය ඇත්තේ

ප්‍රේමකීර්ති ජීවිතය දුටුවේ ඒ ආකාරයටය. ජීවිතයම හීනයකැයි කියා හිතෙනවා යෑයි ඔහු ලියුවේය. ජීවිතය හරි පුදුම දෙයකි. කෙනකුගේ ජීවිතයක්‌ තවත් කෙනකුට උදුරා ගන්නට අයිතියක්‌ නැතත් ප්‍රේමකීර්තිගේ ජීවිතය අසූ නවයේ භීෂකයන් විසින් උදුරා ගත්තේය. ප්‍රේමයට කීර්තියක්‌ වූ මේ අහිංසක කලාකරුවා 1989 ජුලි 31 දා සාහසිකයන් පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වූයේය. ආදරණීය බිරිය, දරුවන් පමණක්‌ද... නැත, ප්‍රේම, කළ සුවහසක්‌ රසිකයන්ගේ දෙනෙත් කඳුළින් බොඳ කරමින් ප්‍රේමකීර්ති සදහටම සමුගත්තේය.

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැළුම් දිදුලවන සරා සුපුන් සඳ
එක වහළක්‌ යට එකට දකින්නට
පූරුවෙ කළ පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹ උපනූපන් ජාතිත් හමුවේවා.............

අජිත් අලහකෝන්