Wednesday, August 29, 2012

Pawanata Salena Doba Mal Suwadin - T M Jayarathne | Story behind the Sinhala songs

පවනට සැලෙනා දොඹ මල් සුවදින්...
ආදර හසරැල් මුවට නැගෙයිදෝ...
සවනට කොදුරා පවසන වදනින්...
ආදර හැඟුමක් හිතට දැනෙයිදෝ...

 මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...

 ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුණු කඳුලු පමණි මම

ගී පද: ධරමසිරි බණ්ඩාරනායක
තනුව: ප්‍රේමසිරි කේමදාස
ගායනය: ටී එම් ජයරත්න





පවනට සැලෙනා දොඹ මල් සුවදින්...
ආදර හසරැල් මුවට නැගෙයිදෝ...
සවනට කොදුරා පවසන වදනින්...
ආදර හැඟුමක් හිතට දැනෙයිදෝ...

දොඹ මල් සුවඳ වඩාත් වැඩියෙන් දැනෙන්නේ සුළං හමද්දී. ඒ සුවඳට මුවග ආදරණීය සිනා උපදීවිද? කණට ළංවෙලා කියන වචන වලින් ආදරණීය සිතුවිලි හිතට පහළ වෙවිද? නැහැ... කොහෙත්ම නැහැ... ඇය ඔහු අතහැර ගිහින්...ඔහු විතරක් නෙවේ ආදරණීය පුංචි පුතණුවනුත් තනි කරලයි ඇය වෙන කෙනෙකුන් සමගින් ගොස් ඇත්තේ...

මේ ගීය රචනා කළේ සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු අපේ ප්‍රවීණ නාට්‍යකරුවා, සිනමාකරුවා... ධර්මසිරි බණ්ඩාරනායක.

මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ

අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ... 

සැමියා... තම දරුවා නළවනවා. බිරිඳ තවකෙකුගේ පහස ලබනවා. දරුවා නළවද්දී පියා තුල කිසිඳු වෛරයක් ද්වේෂයක් උපදින්නෙ නැහැ. මවගේ කුසින් බිහිවූ දරුවා නැලවෙන්නේ පියාගේ ඇකයේ. දරුවා පියාගේ ඇකයේ නැළවෙද්දී මව... වෙන කෙනෙකුගේ ඇකයේ හිඳ ආදර බස් දොඩනවා. 
අලුත් පෙම්වතාගේ ඇකය ඇයට මල් ඇතිරූ සුව යහනක්... ඈ ඒ යහනේ අනුරාගී දෙනෙතින් පෙම්වතා සමග පෙම් කරද්දී...  පියාගේ ඇකයේ ඉන්න පුංචි පුතා මව් සෙනෙහස ඉල්ලා හඬා වැටෙනවා... ඒත් සුරතල් දරුවාගේ දුක්බර හැඬුම් මවට ඇසේවිද? නෑ... ඇය අසම්මත පෙමකින් අන්ධ වෙලා. දරුවා ඇකයේ තබාගෙන මේ ආදරණීය පියා ගයන්නේ නැළවිලි ගී නොවේ. හදවතේ විලාපයයි ඔහු ගයන්නේ.

මේ සින්දුව මම ලියුවේ නවසිය හැත්තෑවෙදි විතර. ටී එම් ජයරත්න එකල මගේ නාට්‍යයේ සංගීත ශිල්පියෙක් ආචර්ය කේමදාසයන් යටතේ වැඩ කලා. මම කොහෙත්ම ගීත රචනයට පෙලඹී සිටියේ නැහැ. ඒත් ටී එම් දවසක් කිව්වා සරල ගීයකට රචනාවක් අඩුයි ලියල දෙන්න කියලා. ඉතින් මම මේ ගීය ලියලා දුරකතනයෙන් කේමදාසයන්ට කීවා. කේමදාසයන් දුරකතනයෙන් පද පෙළ ලියා ගත්තා. පසුව තනුවකුත් යෙදුවා. මාසෙකට විතර පස්සෙ ඒකාධිපති පුහුණුවකදී ටී එම් ඉදිරිපිටදීම මාස්ටර් කේමදාස ගිටාරය වයමින් මේ ගීය ගැයුවා. මටත් හරිම සතුටක් ඇතිවුණා මගේ පලමු ගීය ටී එම් ගැයීම හා කේමදාසයන් සංගීතවත් කිරීම ගැන.

ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුණු කඳුලු පමණි මම


ඔහුගේ ඇකයේ සිටින පුංචි පුතා කිරට හඬනවා ඒත් පියෙකුගේ ලේ කිරි බවට හැරෙනවද? නැහැ... පුන්චි පුතා කොතරම් හැඬුවත් පියාට ලේ කිරි කර පොවන්න වාසනාවක් නැහැ. ඔහු අසරණයි... ඒ අසරණ වූ ඇස් දෙකෙන් පුංචි පුතා දෙස ඔහු බලා සිටිනවා... කිරිකැටියාගේ පුංචි සිරුර කඳුළු වලින් පිරිලා. තත්තාගේ කඳුළු වලින් පුංචි පුතා නෑවිලා. මවකට කිරි එරුණත් පියෙකුට වැගිරෙන්නේ කඬුළු විතරයි. ඒ කඳුළු මවගේ කිරිවලට සම කර්න්න පුළුවන්ද?

මේ ගීතය අදත් අප ශ්‍රවණය කරනවා. ඒක සතුටක්. මේ ගීය ලියු දා සිට මේ දක්වා මගේ අතින් තවත් ගීයක් රචනා වුණේ නැහැ. මේ මා ලියූ පළමු සහ අවසාන ගීතයයි. මේ ගීතයට අබිනික්මන කියා නම් තබන්න මම කැමැතියි. ස්ත්‍රියක් පුරුශයා හැර ගියත්, පුරුෂයා ස්ත්‍රිය හැර ගියත් ඒ දෙකම අබිනික්මන් කිරීමක්. අවසානයේ ඉතිරි වන්නේ මතකය විතරයි. මරණ මංචකය දක්වාම මේ මතකය හිත්වල රැදෙනවා. එවන් සංකල්පයකින් තමයි මේ ගීය මගෙ අතින් රචනා වුණේ. 

~ උපුටා ගත්තේ කුරුටු ගෑ ගී පොතින් ~



4 comments:

  1. මං ආසම ගායකයෙක් තමා ටී.එම් ජයරත්න මහත්තයා.නියම ලිපියක්.

    ReplyDelete
  2. ගොඩාක් ලස්සන තේරුමක් .

    ReplyDelete
  3. ගොඩාක් ලස්සන තේරුමක් .

    ReplyDelete
  4. ගොඩාක් ලස්සන තේරුමක් .

    ReplyDelete