Wednesday, September 19, 2012

Hadanna Lanwa Athi Obe Nuwan Pura

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාව දෝ...

තරු ඇසක්‌ ඇරී උදාගිරේ
බිම් මලක්‌ මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ...

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ...

 

ජීවිතය කියන්නේ අස්‌ථිර දෙයක්‌... එක පැත්තකින් බලද්දී... මුළාවක්‌... මේ ලෝකයේ හැම දේම එහෙමයි... බලාපොරොත්තු තියාගන්න බැහැ... වෙනස්‌ වන සුළුයි... ආදරේත් ඒ වගේ... අවිනිශ්චිතයි.


අපි කැමැති හැම දෙයක්‌ම අපට ලැබෙනවද... නැහැ... අපිට වුවමනා දේමද මේ ලෝකෙ සිද්ධ වෙන්නෙ... නැහැ.... සොබා දහමත් එහෙමයි.... සොබා දහමටත් බැහැ අපි කැමැතිදේම ඉටු කරන්න....


හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ...
හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාව දෝ...


මේ ගීතයෙන් කියන්නෙත් එහෙම කතාවක්‌. ආදරයේ අවිනිශ්චිත බවයි මේ යුවළ අතර ඇතිවන සංවාදයෙන් අර්ථවත් වෙන්නේ...

ඔබේ දෙනෙත් හැඬුම් බරයි.... එයෙන් පෙනෙන්නේ ජිවිතයද... ඔහු අසනවා... සුසුම් සිරවෙලා... පිටකරන්න බැහැ... ඒ කියන්නේ ජීවිතේ මුලාවක්‌ කියලද... ඇය කියනවා...

මේ ගීය ලියුවේ බන්ධුල නානායක්‌කාරවසම්... ගීයට නිමිත්තක්‌ නැහැ... ඒත් ගීය පසුබිමේ හොඳ කතාවක්‌ තියෙනවා...

මේක තමයි තනුවකට වචන දමා ජනප්‍රිය වූ මගේ පළමු ගීතය... රෝහණ වීරසිංහ තනුව කැසට්‌ එකකට ටේප් කරලා මට දුන්නා... මම ටේප් එක ඇහුවා... තනුවට ඔහු වචන ටිකකුත් දමලයි තිබුණේ...

නටන්න ගස්‌ වටේ දුවන්න කෑගසා.. වැල්වලින් එතී
රඟන්නකෝ....
ඉන්පස්‌සේ තරු ඇසත්... පද පෙළ වෙනුවට,
ප්‍රේමයේ සුසාන භූමියේ....
මළ මිනී සිනා සිසී නැගේ...

කියලා රෝහණ ලියා තිබුණා. ඒ කාලේ සුනිල් අර්. ගමගේලාට පිළියන්දල සුපර් මාර්කට්‌ එකේ සාප්පුවක්‌ තිබුණා. කටුවාවල ගෙදර ඉඳලා සුනිලුයි නෝනයි දෙන්නම මේ සාප්පුවට යනවා. එහෙම දවසක මමත් හිටියේ ඒ ගෙදර. මම ගෙදර නැවතුනා සිංදුව ලියන්න. ගෙදර කවුරුත් නැහැ... සිංදුව ලියන්න මට මොන විදිහකින්වත් වචන එන්නේ නැහැ... දවල් එකොළහ වෙද්දී හිතුනා ලියන්න බැහැ කියලා... දමලා ගහලා දොරවල් වහලා මමත් ගියා සාප්පුවට සිද්ධිය කිව්වා. "මල්ලී... මටත් ඔහොම වෙනවා... ගණන් ගන්න එපා... ආපහු ගෙදර ගිහින් ලියන්න කියලා බල කළා... මම ආයෙත් ගෙදර ගියා... මේ ගීය එඩ්වඩ් එක්‌ක ධම්මිකාත් ගයනවා කිව්වාම මම ආසාවෙන් හිටියේ... ඇය කීර්ති එක්‌ක ගයන කවිකාරියේ... ගීතය ඒ කාලේ හරිම ජනප්‍රියයි. මම ගීය ලියන්න කලින් ධම්මිකාව හිතේ මවාගත්තා... ඉබේම වචන ආවා...


තරු ඇසක්‌ ඇරී උදාගිරේ
බිම් මලක්‌ මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම් මලේ හිනා මැකේද
මේ වෙනස දෝ ආදරේ....


ගිරි මුදුනින් උදාහිරු පායද්දී තරුවල ඇස්‌ ඇරෙනවා... බිම්මල් පවා මුවපුරා හිනාවෙනවා... ඔහු කියද්දී ඇය එහි නිස්‌සාර බව, අනියත බව සිහිපත් කරන්නේ මෙසේයි.

තරු ඇස්‌වලින් කියන කතා මිය යාවිද... බිම්මල් මුව පුරා නඟන සිනා මැකී යාවිද... මේ වෙනසම නේද ආදරේ කියන්නේ...

මේ ගීයට පුදුමාකාර ප්‍රතිචාර ලැබුනා... මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මගේ සිනා පොදක්‌ උත්සවේදී ප්‍රසිද්ධියේ කිව්වා "මම නම් ජීවිතේට හිතුවේ නෑ කලින් දුන්නු තනුවකට හඬන්න ළංව වගේ වචනවලින් ගීයක්‌ ලියෑවේවි" කියා මහාචාර්යතුමා කිව්වා...


සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුත දෝ ආදරේ.....


කුමුදු මල් පිපෙන්නේ ජලයේ... සඳකිරන නිසා කුමුදු මල සුදට සුදේ ලස්‌සනට පිපෙනවා... ඒත්... හිරු ඇවිත් ඒ මල් විනාශ කරයි... ඒක දුකක්‌... ඒත් ඒ දුකත් සැඟවිලා යාවි... ආදරයේ අර්ථයත් මේකද....

මේ ගීය උපමා රූපකවලින් පිරුණු ගීයක්‌... එඩ්වඩ් ජයකොඩිගේ සරාගී හඬට ධම්මිකා බණ්‌ඩාරගේ හඬ ඉතා මැනවින් ගැළපෙනවා.... රෝහණ වීරසිංහයන් බටහිර තාලයෙන් වගේම පෙරදිග තාලයටත් ගීතය හැඩකර තිබෙනවා... හොඳින් අසන්න.... හඬන්න ළංව... කොටස කියද්දී ඩ්‍රම්ස්‌ නාදය යොදාගන්නා රෝහණ "තරු ඇසත් ඇරී උදාගිරේ..." කොටසේදී තබ්ලාව යොදා ගන්නවා... ගීතයේ ජනප්‍රියත්වයට මෙයද හේතු වූ බව බන්ධුල පිළිගන්වා....

Source : දිවයින - මීවිත 

 

No comments:

Post a Comment