Monday, September 17, 2012

Igilenna Thahanam Nam Durak

ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌...

පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක්‌ ඔබ අරන්
මට ගන්න හැකි ඉර හඳ උනත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//

හැමදාම මල්පෙති ළංකළත්
දැනුනේම නෑ සුවඳැති බවක්‌
නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌
සාධාරණයි අපි වෙන් කළත්.....//


ආදරයෙන් එක්‌වූ දෙහදකට වෙන් වෙන්න සිදු වුණොත්... දෙදෙනා එකිනෙකාට මොනතරම් ආදරය කළත්... අදහස්‌ එකිනෙකට නොගැලපේ නම්... වෙන්වීම හැර වෙන කුමක්‌ කරන්නද... විවාහ වූවන් නීතියෙන් වෙන්වෙනවා... ප්‍රේමවන්තයන් හදවතින් වෙන් වෙනවා...

ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌

අසම්මත වූ ආදර බැම්මක්‌ දෙදරා යන අවස්‌ථාවක්‌... විවාහක ගැහැනියකගේ හදවත ඉකිබිඳින ආකාරය ඇගේ හදවතේ ඇතිවන විලාපය මේ ගීයෙන් අර්ථගැන්වීමට ගී පද රචකයා ගෙන ඇති උත්සාහය ඉතාමත්ම සාර්ථකයි.

මට ඉගිලෙන්න අත්තටු දෙකක්‌ දුන්නේ ඔබයි... ඒත් මට උවමනා දුරකට ඉගිල යන්න තහනම්... ඇයි එහෙ නම් ඔබ මට අත්තටු දෙකක්‌ දුන්නේ... අපි දෙන්නම එකතුවෙලා ලස්‌සන කවි දෙකක්‌ ලියුවා... ඒත් මේ කවි දෙකේ එක පේළියක්‌ විතරක්‌ මගේ වෙන්නෙ කොහොමද...

චන්න ජයනාත්... මේ ගීයේ පද රචකයා... මේ ගීය ගැන ඔහුගේ අදහසයි මේ...

මම මේ ගීය ලියුවේ මගේ හෝ වෙන කිසිවෙකුගේ අත්දැකීමක්‌ මත නොවේ... මගේ සිත තුළ ඉපදුනු සංකල්පනාවක්‌ අනුවයි මේ පද පෙළ ලියුවුණේ...

චන්න එසේ කීවත් අද බොහෝ දෙනෙකු විඳින අත්දැකීමක්‌ තමයි මේ ගීයෙන් කියෑවෙන්නේ...

පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක්‌ ඔබ අරන්
මට ගන්න හැකි ඉර හඳ උනත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්

ආදරය, ප්‍රේමවන්ත බව ඔබේ හිතේ තිබෙනවා... ඒත් ඊට යටින් ඔබ මට අවියකුත් පෙන්වනවා.. ප්‍රේමනීය හිතට යටින් දිස්‌වන්නේ ඔබේ කුරිරු බවයි... මතුපිටින් ආදරය පෙන්නුවත් හිත යටින් ඔබ මට ආදරයක්‌ නැහැ. ඒත් මම ශක්‌තිමත්... ඉරහඳ උනත් හිමිකර ගැනීමේ තත්ත්වයකයි මම ඉන්නේ... ඒ බව ඔබ නොදන්නවා වෙන්න ඇති...

ඇය පතන දේ ඔහුගෙන් ඇයට ලැබී නැහැ... අසාර්ථක ජීවිතයක්‌... මල් පෙති කොතරම් සුවඳද... ඒ වගේම සුවඳ නැති මල් කොතරම්ද... ආදරේත් ඒ වගේ... ඔබ හැමදාම මේ මල්පෙති... නැති නම් ආදරය මාවෙත සමීප කරනවා... ඒත් මට ඒවායේ සුවඳක්‌ දැනෙන්නේ නැහැ... මගේ ජීවිත ගමනට ඔබෙන් ලද සහායක්‌ ඇත්තෙම නෑ... ඒ නිසා අපි වෙන්වෙමු... එය අසාධාරණ ඉල්ලීමක්‌ නොවේ....

හැමදාම මල්පෙති ළංකළත්
දැනුනේම නෑ සුවඳැති බවක්‌
නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌
සාධාරණයි අපි වෙන් කළත්

මේ ගියේ පළමු කොටස බලන්න... ඉගිලෙන්න තහනම් නම් දුරක්‌... එහි එක ළඟ "නම් නම් යනුවෙන් දෙවරක්‌ කියෑවෙනවා... මෙය ප්‍රශ්නයක්‌ වේවි කියා සංගීතඥ රෝහණ වීරසිංහට ප්‍රශ්නයක්‌ මතුවුණා... ඒත් නිරෝෂා එය ඉතා දක්‌ෂ ලෙස ගායන කළා... මා රචනා කළ සියලුම ගීත නිල්වලා ලේබලය යටතේ වෙළෙඳ පොළට නිකුත් කළා.... මේ ගීයේත් වචන දිහා බලලා රෝහණ වීරසිංහයන් මනරම් තනුවක්‌ නිර්මාණය කළා. නිරෝෂා ඉතා ඕනෑකමින්, හැඟුම්බරව මේ ගීය ගායනා කළා... මෙහිදී නිල්වලා අධිපති දේශමාන්‍ය උපුල් ජයසිංහවත් ආදරයෙන් සිහිපත් කරනවා...

චන්න ලියූ මේ ගීයේ අරුත එය ගයන ගායිකාවටද ඉතා සමීප අත්දැකීමක්‌ යෑයි කීවොත්... ඇය ඒ පිළිබඳ අමනාප නොවනු ඇති. නිරෝෂා මේ ගීය වඩාත් හොඳින් ගයන්නේ ඒ නිසාම වෙන්නත් පුළුවන්... එහෙත්... චන්නගේ පදමාලාව කාන්තා හඬකින් ගයන නිසා මෙය ගැහැනියකගේ හදවත ඉකිබිඳින ආකාරය බවට අර්ථ ගැන්වූවද... මේ අත්දැකීම ගැහැනු පිරිමි දෙපක්‌ෂයටම පොදු වූවක්‌... යම් හෙයකින් මේ ගීය පිරිමි හඬකින් ගැයුවා නම්... මෙය වෙන්වීම පිළිබඳ පුරුෂයකු ලද අත්දැකීමක්‌ ලෙස අර්ථ දැක්‌වීමටත් පිළිවන.


Source : දිවයින - මීවිත 
 
 

No comments:

Post a Comment