Tuesday, September 11, 2012

Visirunu Mal Pethi Dhothata Gath Kumari

විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි...

ඒ පෙති එක්කර මලක් සොයන බොලදී.....

සරදම් නොකරමි ...ආදරයෙන් කියමී.....

විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි.....

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්

වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ...

බඳට පියාපත් යුවලක් ලැබුනත්

අහස දෙකෙළවර නුඹට දිනනු හැකිදෝ...

විසිරුණු මල් පෙති...

බඹරුන් පසුපස මල් දිව නොගියත්

අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ.....

මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්

නුඹේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ....

විසිරුණු මල් පෙති...

මේ ගීතය ඇසුව පමණින් ආදර විරහව ගැන කියවෙන ගීතයක් වුනත් මේක එහෙම එකක් නෙවේ.....අනූව දශකය මුල් භාගයේ මුලින්ම ඇසුණු මේ ගීතය යට සැඟවිලා තියෙන්නේ ඛේදාන්තයක්

දවසක් නීතිඥ කාර්යාලයකට ගොඩවදින්නේ තරුණ අයිය කෙනෙක් සහ ඔහුගේ නැගණිය....මේ දෙන්න සල්ලි බාගේ තියෙන අය නෙවේ...දුප්පත් මිනිස්සු....මේ අහිංසක නංගිව සල්ලිකාර වගේම සෙල්ලක්කාර තරුණයෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙළෙසිලා....දැන් ඔහුව හොයාගන්නවත් තැනක් නෑ....තමන්ගේ අහිංසක නංගිව අනාථ වෙන්න නොදී කොහොමහරි වැරදිකාර තරුණයට එරෙහිව නීතියේ පිහිට පතන්නටයි මේ දෙන්නා ඇවිල්ල තියෙන්නේ...


ඒත් ඒ සල්ලාලය බොහොම බලපුළුවන්කාරකම් තියෙන කෙනෙක්....මේ නංගිව විත්ති කුඩුවේ නග්ගලා ලෝකෙටම ඇහෙන්න දුක කියල පිහිටක් ගන්න මේ අයියට ඕන උනත් මේ සල්ලිකාරයෝ එක්ක හැප්පෙන්න මේ අයට සල්ලි වත් බලයවත් නෑ කියලා මේ තරුණ නීතිඥයාට වැටහෙනවා.....මේ කරන්න යන වැඩේ නිෂ්පලයි කියලා ඔහුට කල තියාම තේරෙනවා....

ඒ නිසා මම මේ නංගිගේ මේ අයියා වුනානම් මම නංගිට මේ යතාර්ථය තේරුම කරල දෙන්නෙ මෙහෙමයි කියන එකයි මේ ගීතයෙන් කියවෙන්නේ....(ගීතය ලියපු මේ නිතිඥවරයාගේ නම මට මතක නෑ...ඒ ගැන කණගාටුයි)

ගීතය ඇහුවම වෙලාවකට අපි ගැනම ලැජ්ජාවක් එනවා...

විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි...ඒ පෙති එක්කර මලක් සොයන බොලදී.....

අහිංසක බොළඳ නැගණිය.....කෙලෙසුණු ඇගේ ජීවිතය නැවත නිකැළැල් කරන්නට නිෂ්පල උත්සාහයක යෙදෙයි.....

වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ...

සල්ලිකාර පිරිමි අහිංසක දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත ඇවිල්ල යනවා....එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.....ඔවුන් අසරණ වෙලා තනි වෙනවා....

බඳට පියාපත් යුවලක් ලැබුනත් අහස දෙකෙළවර නුඹට දිනනු හැකිදෝ...

ඉහළින් වැජඹෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා...

බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ.....

බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්‍රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ....

මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ....

තිත්ත ඇත්ත මෙයයි.....මේ යතාර්ථය තේරුම් ගෙන කරබාගෙන සිටිනවා මිසක හැමදාම ඒ ගැන හිතමින් හිතින් සෝ සුසුම් බොල් අහසට මුසු කිරීමෙන් පලක් නැත......

සරදම් නොකරමි ...ආදරයෙන් කියමී.....විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි.....


Source : Elakiri

 

No comments:

Post a Comment