Sunday, July 2, 2023

Asata Asuwana Maime - Karunarathna Divulgane | Story behind the Sinhala songs

ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ

සියපතක් මත විසුල පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණයුරු දැක
ඔබේ ලවනත සැදුන මීවිත
මත් කලා මතකයි මගේ සිත

ගී පද : මහින්ද දිසානායක
තනුව : ගුණදාස කපුගේ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ






දහතුන්වැනි සියවසේ මුල්භාගයේ ජීවත්වූ ගුරුළුගෝමින් සිංහල සාහිත්යයට මහඟු මෙහෙයක් කල උතුමෙකි. ඔබ අප කවුරුත් දන්නා 'අමාවතුර' රචනා කොට ඇත්තේ මෙතුමා විසිනි. ධර්මය දැක්මට එළිය දෙන පහන යන අර්ථයෙන් එලි දැක්වූ 'ධර්මප්‍රදීපිකාව' සිංහල ගද්ය සාහිත්යයේ පරිකථා ගණයෙට වැටෙන පළමුවැනි නිර්මාණය ලෙස හඳුන්වනවා. පරිකථා යනු සවිස්තර පැහැදිලි කිරීම් වලට යටත් වූ පවත් ලෙස හැඳින්විය හැකියි. මෙහි එන ‘සුළු කළිඟුදාවත’ අග්‍ර ගනයේ ගද්ය රචනාවක් ලෙස සැලකේ. එහි ඇත්තේ සුළු කළිඟු කුමරු හා සාගල නුවර මදු රජුගේ දියණිය අලලා කෙරුනු ශෘංගාරාත්මක නිර්මාණයකි. මෙහි ආදරය සහ විරහව පිලිබඳව ඉතා මැනැවින් සවිස්ථරාත්මකව පැහැදිලි කර තිබෙනවා. මෙහි ශෘංගාරාරය මැනැවින් විදහා පෑමට මේ පැදි සමත්වී ඇති බව නොරහසක්.

මහින්ද දිසානායකයන් අනුරාධපුර මධ්ය මහ විද්යාලයේ සිංහල විශය භාර ගුරුවරයා ලෙස සේවය කල අයෙක්. ඒ වගේම පසු කාලීනව ඔහු සහකාර අධ්යාපන අධ්යක්ෂකවරයෙක් ලෙස සේවයට යොමුවෙනවා. මීට අමතරව අප ඔහුව හඳුනන්නේ දක්ෂ ගී පද රචකයෙක් ලෙසට. ඉතින් මහින්ද දිසානායකයන් මේ ‘සුළු කළිඟුදාවත’ පිලිබඳව තරමක් විමසිලිමත් වෙනවා. එහි ඇති ශෘංගාරාරය මෙන්ම විරහව ඔහුගේ ගීත රචනාවකට පෙරලෙන්නේ අපගේ වාසනාවකට. රජරටින් බිහිවූ මේ අග්‍රගන්ය පද රචකයා තමන් විසින් රචිත මේ ගීතය ගායනය සඳහා ආරාධනා කරන්නේත් තවත් රජරටින් බිහිවූ කලා ලොවේ මිණි කැටයකට. ඔහු කරුණාරත්න දිවුල්ගනේ. මේ ගීතය සංගීත්වත් කරන්නේ ඊටත් නොදැවෙනි සංගීතඥ්ඥයෙක් වන ගුණදාස කපුගේ ශූරීන්. මෙහිදී ඔහු හින්දුස්ථානී රාගධාරී සංගීතය සමග දේශීය සංගීතය මුසුකොට මෙහි සංගීත නිර්මාණය කල අයුරක් පෙන්නුම් කෙරෙනවා. මේ කපුගේ දිවුල්ගනේ සුසංයෝගය සැම විටම ඉතා වටිනා නිර්මාණ අපට දායාද කර තිබෙනවා.

ආදරය, සෙනෙහස, කැපවීම, පරිත්යාගය යන මේ සියල්ලම එක්ව ගත්කල එතැන ප්‍රෙමයක් ඇතැයි මම දකිමි. මේ සඳහා විවිධ පෙම්වතුන් විවිධදේ එකතු කරති. ඒවා විටෙක ප්‍රෙමය වැඩීමටද විටෙක ප්‍රෙමය නැසීමටද හේතුවේ. බොහෝ පෙම් පුවත් වල ශෘංගාරය හමුවන්නේ නිතැතින්. ඒ තරමටම ප්‍රෙමය්ත් සමගම එකට ගමන් කරන දෙයක් තමයි මේ ශෘංගාරය. විරහවෙන් මුසපත් වී සිටින මොහොතක වුනත් අතීතාවර්ජනයක යෙදෙමින් ප්‍රෙමයේ වු රස තැන්, දුක දනවූ තැන් මෙන්ම ශෘංගාරය දනවන තැන් ජීවමාන ලෙස විඳීමට ඇති හැකියාව මේ ගීතයෙන් මනාව පැහැදිලි කරනවා.

තරු එලියකින් එකලු කරන්නට නොහැකිවූ සිත් අහස එකලු කල සඳවතියගේ නික්මයාම. විරහවක් කියන්නට සිත් දුන්නේ නැති වුනත් විරහවකට අරුතක් ජනිත කල ඔබේ නික්මයාම මා සිත අහසේ ලසෝ ලැව් ගිණි අවුලන්නට සමත් වූ බව ඔබ දන්නේද? හුදකලාව රජයන ලොවක අතරමංවූ මා දෙනෙත් අභියස ඹබර කැල පවත්වති සැනකෙලි කලතා මල්විල. දකින දසුනට ලොබ බඳින්නට නොහැකිය මට මන්ද ඔබේ මගේ අතීතාවර්ජනය මහද කලඹයි. එදවස් නැවත මතකයට එන්නේ මහදේ ඇතිවූ ගිණි පුලිඟු ලැව් ගින්නකට මග පෙහෙලි කරමිනි.

සියපතින් පිරි විලක් අභියස අපේ විරහව විඳින්නෙමි මම. මා දෙනෙතට දිස්වන එක් සියපතකට වැටේ පිණි බිඳු එකිනෙක. හමා හැමුවේ සැඩ සුලං ඒ වැටුනු පිණි බිඳු සී සී කඩ කරමින්. අප අතර ඇනුම් බැනුම් නොතිබුනාම නොවේනේ. මේ සැඩ සුළං හරියට ඒ ගැටුම් වගේමයි. ඒ ගැටුම් අවසන ඔබ හඬනායුරු හරියටම මේ සියපතට වැටෙන පිණි බිඳු සැඩ සුළඟට විසිරී යනවා වගේමයි. සර සර හඬ නඟමින් වැටෙනා පිණි බිඳු සිහි කරන්නේ එදවසක ඔබ දෙනෙතින් ගලා හැලුනු කඳුළු බිඳුම නොවේද. සියපතේ පෙති තුලින් රත් පැහැ ගැන්වුනු ඔබේ දෙකොපුල් සිහිවෙන්නේ මසිත තවත් අප්‍රාණික කරමින්. මා විසින් ඔබට දුන් රිදුම් වලින් නැඟුනු කඳුලු කැට රූටා වැටෙද්දී , පිසදමන්නට තිබූ නොපිසිදුනු කඳුලු විරහවට මං තැනුවාද නොදනිමි.

සතර අත පෙති විහිදාගෙන සිටින මේ සියපත මා දෙනෙතට නැවත හසුවේ. මෙවර මලේ මධු වැගිරෙන ආකාරය මා සිත් කලඹයි. ඔබේ දෙතොල් පෙති වල පහසින් මත්වූ කලෙක මෙන් මා මත්වී ඇත. ඔබේ දෙතොල් පෙති සිපගත් ඒ සොඳුරු මතකයන් මා සලිත කරවයි. පෙර දිනෙක නොව දිනයන්හි මා මත් කිරීමට මීවිත අවශ්යය නොවූයේ ඔබේ ලවන් මගින් මා මත්කල බැවිනි. නා දල්ලක පැහැ සුමුදු තොල්පෙති කෙසේ මා මත්කරාදැයි නොදනිමි. විරහවේ වේදනාව මොහොතකට මට අමතක වූ සේයාවකි. ඔබේ ස්මරණයන් මා ගත හැඟුම් පුබුදුවන්නට සමත් වූ අපූරුව...

ඉතින් කෙටියෙන් පවසනවානම් සිය පෙම්වතියගෙන් වෙන්වයාමෙන් හුදකලා දිවියක් ගතකරන තරුණයෙකුගේ අතීතාවර්ජන නිසා ඔහු තුල මතුවන ශෘංගාරාත්මක සිතුවිලි අවට පරිසරයත් සමග බද්ධ කිරීමට රචකයා ගෙන ඇති සොඳුරු වෑයමකි මේ. මෙහි පද යොදාගෙන ඇති ආකාරය ගැන තෘප්තිමත් විය හැකිය. බමර සැණකෙළි, හෙත, මල් මී මමනයුරු.. ආදී යෙදුම් නිසා මෙහි සාහිත්යමය රසය තීව්‍ර වී ඇත.

මූලාශ්‍රය

No comments:

Post a Comment