Tuesday, February 26, 2013

Thahanam adaraye Awasan Belma Diha

තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා//
මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා

ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ//
මල්වරව දෙතොල් අනුරතිය යදී
මදෙස බලා හිඳිනු කෙසේ දෝ උමතු නොවී

පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැතී
විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී//
මා වියරු වෙවී හිරි ඔතප් රකී
ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ


 
අපි ජීවත්වන මේ ලෝකයේ හැම දෙයක්‌ම සම්මත විදිහට සිද්ධ වෙනවානම්... ඒත්... එහෙම වෙන්නේ නැහැ. සම්මතයට පිටුපා යන දේ කොතරම් නම් අප වසන සමාජය තුළ සිදුවේද... එවැනි අසම්මත දැ කොතෙක්‌ ඔබට හා මට අත්දකින්නට සිදුව ඇත්ද


ආදරය නොහඳුනන්නන් අප අතර සිටිත්ද... නැත... ආදර හැඟුම් ඕනෑම කෙනෙකුගේ සිතේ පහළවන්නක්‌... මේ සමහර විට සම්මත ආදර බැඳීමක්‌ වෙන්නත් පුලුවන්... එහෙමත් නැතිනම් අසම්මත ආදර බැඳීමක්‌ වෙන්නත් පුලුවන්.

ආදර සබඳතා ඇතිවීම වරදක්‌ නොවේ. එහෙත්... ඒ ආදරය සම්මතයට පටහැනි නම්. කෙටියෙන්ම කියනවා නම් එය තහනම් ගසේ ගෙඩි කෑමක්‌.

ආදරය සුන්දරයි. එහෙත් තහනම් ආදරය?
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා

මේ අවසන්ව තිබෙන්නේ තහනම් ආදරයක්‌... සම්මත පෙමක විරහ වේදනාව නොවේ. ඔහු බලා හිඳින්නේ ඒ තහනම් ප්‍රේමයේ අවසාන බැල්ම දෙස... ඇය මින් මතු හමුවන්නේ නැහැ. ඒ නිසා ඇගේ බැල්ම දෙස ඔහු බලන්නේ කම්පා වන හදවතකින්. උපදින හැම ආත්මෙකදිම ඔබ මගේම වේවා. ඈ කියූ අවසන් වදන් නිසා හදවත තුළ ඇවිලෙන ගින්දර... හරියට ලැව් ගින්නක්‌ වගේ...

ඉතාම සුන්දර... සිතට කාවදින ගීයක්‌. පද රචකයා ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර තනුවකට ලියූ තවත් ගීයක්‌.

මේ ගීයට විශේෂම නිමිත්තක්‌ නැහැ. වරදක්‌ කළත් සිතකින් නොවේ. ගීය වගේමයි. සනත් නන්දසිරි මහාචාර්යතුමා තනුව ලබා දුන්නා. මට ගීය ලියද්දී මතක්‌ වුණා මේ සමාජය ගැන. හැම දෙයක්‌ම සම්මත ලෙස සිද්ධ වෙන්නේ නැහැ. කියන කාරනාව... ප්‍රනීත් ගීය ගැන දැක්‌වූයේ එවන් මූලික අදහසක්‌.

ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ
මල්වරව දෙතොල් අනුරතිය යදී
එදෙස බලා හිඳිනු කෙසේ දො උමතු නොවී

මේ පෙම සමාජය නොපිළිගන්නා නමුත් ඔහු ඇයට බොහෝ සේ පෙම් බඳිනවා. ඇගේ දෙනෙත් වලට ඔහු එබී බලනවා. ඒ දැස්‌වලින් ඔහු ජීවිතය දකිනවා. ආදරය තහනම් එකක්‌ නම්... ඇයට ඔහුට දෙදෙනාටම එකිනෙකා හා කියාගන්නට කොතරම් දුක හිතෙන දෑ ඇත්ද... ඒත් දැත් පටලවාගෙන ඇය ඇගේ දුක නොකීවත් ඔහුට ඒ දුක රහසක්‌ නොවේ. ඇගේ දොතොල් මල්වරයි. ඒ දොතොල් ඉල්ලන්නේ මොනවද අනුරාගය. ඉතින් එවන් දොතොලක්‌ දෙස බලා ඉන්නා කෙනෙකු උමතු නොවී හිඳීද...

ශෲංගාරය වෑහෙන ගීයක්‌. තහනම් ආදරයක්‌. සමාජයට හොරා දෙදෙනා ආදරය කරද්දී... ලබන රසය සම්මත ආදරයකින් ලබනා රසයට වඩා බොහෝ විට වෙනස්‌ බවක්‌ දැනෙනවා වෙන්නත් පුලුවන්...

ඉන්දියාවේ රජ කෙනෙක්‌ හිටියා. මේ රජුට රත්තරන් අඹ ගෙඩියක්‌ ලැබුණා. ඔහු එය තෑග්ගක්‌ ලෙස අග බිසවට දෙනවා. මේ අගබිසව ආදරය කරන්නේ රජුට නොවේ අගමැතිට. ඒ නිසා ඇය ඒ රන් අඹේ අගමැතිට තෑගි කරනවා. අගමැති මේ රන් අඹ ගෙඩිය බිසවගේ දාසියට තෑගි කරනවා. ඒ ඔහු දාසියට ආදරය කරන නිසා. දාසිය මේ කිසිම කෙනෙකුට ආදරේ නැහැ. ඇය ආදරය කරන්නේ රජුට. ඉතින් දාසිය මේ රන් අඹ ගෙඩිය රජුට තෑගි කරනවා.

මෙහි සුල මුල රජු සොයා බලනවා. ඔහුට ජීවිතය අවබෝධ වෙනවා. එක එක ශරීර කුඩා එකක විදිහයි. මේ රජු පසුව පොත් තුනක්‌ ලියනවා. ශෲගාර ශතකය, වෛරානි ශතකය සහ නීති ශතකය නමින් මේ පොත් තුනම සිංහලයට පරිවර්තනය වී තිබෙනවා. ඔන්න ඔය වගේ අපට හිතන්න බැරි තැන් සමග අපේ සිත බැඳෙනවා. තහනම් ආදරයත් ඒ වගේ... ප්‍රනීත් අභයසුන්දර ගී පද රචකයා, කවියා හරි අපූරු කතාවක්‌ ගෙනහැර පෑවා.

පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැති
විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී
මා වියරු වෙවී හිරි ඔතප් රකී
ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ

ඔබ මගේත් නොවේ. මම ඔබේත් නොවේ. ඔබේ නිල් නුවන් මට පෙනෙන්නේ හරියට ආකාශය වගේ. මට ඉවසුම් නැහැ. ඒත් හිරිඔතප් රකින්නත් ඕනෑ...

සරල හැඟුම්බර ගතියක්‌ ගීය අසද්දි සිතට දැනෙනවා. ප්‍රනීත්ගේ පදමාලාව ගීයක්‌ බවට පත්වුණේ මහාචාර්ය සනත් නන්දසිරිගේ තනුව හා සංගීතයෙන් වගේම ගායනයෙන්.

සාමාන්‍ය සරල සුගම තනුවක්‌... සංකීර්ණ සංගීත නිර්මානයක්‌ නොවේ... ඇතිකරන වින්දනය ඉතාමත්ම සරලයි. ගීය ගයන සනත් නන්දසිරි පළකරන්නේ එවන් අදහසක්‌

ඒ කෙසේ වෙතත් මේ ගීය බොහෝ දෙනෙකුගේ රසභාවයන් උද්දීපනය කරන නිතර නිතර අසන්නට අපේ සිත බලකරන ගීයක්‌.



Source:
 

No comments:

Post a Comment