Wednesday, February 27, 2013

Sada Rajani Aida Hengi

සඳ රාජිනී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී
සඳරාජිනී ඇයි ද හැංගී ඇයි ද හැංගී 

මේ රැයේ පාලුවේ... 

ඈ හා බැඳී ආවා එදා සමුගන්න මාගෙන් මිදීලා
මතකේ සදා සුවඳේ වෙලී සංසාරයේ ඉන්න මා හා
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ...
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ...
වේදනා යා කළේ... මායාව සේ...
වැළපෙන්න දෝ මේ ලෙසින්...
 


රෑ තුන්යමේ හඬනා මගෙන්
වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ
සුළඟේ රැඳී කාටත් හොරා
මාගේ ළඟින් ඉන්නදෝ...
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යා කළේ මායාව සේ
පළිගන්නදෝ මේ ලෙසින්....


  
මං ඔයාට ආදරේ කළ තරමට ඔයා මට ආදරේ කළා ද... සයුරු තලාවක... සුදුමුදු වැල්ලේ... මම ඔබේ තුරුලට වී හිටියා.... අපි දෙන්නා ගොඩාක්‌ දේ කතා කළා. තේරුමක්‌ ඇති දේට වඩා අපි කතා කළේ තේරුමකට නැති දේ.... ඒත් අපි එයින් සතුටක්‌ ලැබුවා... මං ඔයාට ආදරේ කළ හැටි... දන්නේ මේ ඉර හඳ ගස්‌ කොළං විතරමයි.... වැඩියෙන්ම ඒ ගැන හඳ සාක්‍ෂි දේවි... අපි දෙන්නගේ ආදරේ ගැන... අපි දෙන්නා හඳ එළියේ කොයිතරම් වෙලා තුරුළුවෙලා ආදර බස්‌ තෙපලුවද....

අනේ... ඒත් අද ... අද ඔයා මගෙන් වෙන්වෙලා... ඔයාගේ හදවතේ තවත් කෙනෙකුට ඉඩක්‌ දුන්නේ කොහොමද... සදා කාලයටම ඔයා මගේ... මං ඔයාගේ කියලා නේද අපි කතා කළේ... ඇයි මගෙන් වෙන්වෙන්න හිතුවේ... අද මම තනිවෙලා... එදා මාව තුරුළු කරගෙන හිටපු ඔයා අද... ඇය සමග... අපි ආදරේ කළ හැටි හොරැහින් බලා සිටි සඳු පවා අද නිහඬයි.... මේ පාලු රාත්‍රියේ.... මම තනිවෙලා වේදනා විඳිනවා... සඳ රාජනිය හැංගිලා... .අනේ මේ හදවතේ නැගෙන ගින්දර මාව දවා අළු කරාවි....



සඳ රාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී
සඳරාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී මේ රැයේ පාලුවේ...

විරහව... මේ තරමටම දුකක්‌ද... දෙයියනේ... ඇයි ඔයා මට මේ දුක දුන්නේ... ඔයා මාව දාලා ඈතට ඈතට නොපෙනී ගියානම්... මට දුක ඉවසා ගන්න පුලුවන්.... ඒත්... ඒත්.... ඔයා මගෙන් සමුගන්න ආවේ ඇයත් එක්‌ක.... අතිනත් අරගෙන.. මම කොහොමද ඉවසන්නෙ... කමක්‌ නැහැ.... අපේ අතීත ආදර සුවඳ.... මා එක්‌ක හැමදා හිඳිවී... මේ සංසාරය නිමාවෙන තුරු ඒ සුවඳේ වෙලිලා ඔයා මා එක්‌කම ඉන්න....

එදා අපි කොයිතරම් සිsහින මැව්වද... පැතුම් පැතුවද.. ඒත් එදා පැතූ පැතුම්... ප්‍රාර්ථනා කළ සතුට අද නැහැ.... කෝ ඒ සිනාවන්... මායාවක්‌ වෙලා... ජීවිතයම මායාවක්‌... වේදනාව ඉතිරි කළේ මට මේ විදිහට වැළපෙන්නද....

ඈ හා බැඳී ආවා එදා
සමුගන්න මාගෙන් මිදීලා
මතකේ සදා සුවඳේ වෙලී
සංසාරයේ ඉන්න මා හා
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යා කළේ මායාව සේ
වැළපෙන්න දෝ මේ ලෙසින්...

පෙම්වතියකගේ වැළපීම... වේදනාව... විරහව වගේම මේ ගීයේ පදමාලාව අතර ශෘංගාරයකුත් සැඟවී තිබෙනවා.. මේ පද එකිනෙක අමුනා ගීයක්‌ බවට පත්කළේ රොඩ්නි විදානපතිරණ,.. සරත් ද අල්විස්‌ තනු නිර්මාණය කළා.... නිරෝෂා ගීය ගයන්නේ හදවතින්මයි.

මම ඔය පදටික ලිව්වේ සරත්ගේ තනුවට... සරත් තනුව නිර්මාණය කළාට පස්‌සේ වචන ටික ලියන එක මට අභියෝගයක්‌ වුණා. නිමිත්තක්‌... අත්දැකීමක්‌ පදමාලාවට නැහැ.... රෙකොඩින්වලට අරගෙන යද්දීත් මම පදමාලාව මඟ දිගට හැදුවා.... ඉවර කළේ ස්‌ටුඩියෝ එකේදී.... රොඩ්නි ගී උපත විස්‌තර කළා.

රෑ තුන්යමේ හඬනා මගෙන්
වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ
සුළඟේ රැඳී කාටත් හොරා
මාගේ ළඟින් ඉන්නදෝ
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යා කළේ මායාව සේ
පළිගන්නදෝ මේ ලෙසින්....

මගේ හදවත පැළෙන්න එනවා.... මේ තරම් හඬන්න... මේ තරමට කඳුළු... කොහෙන් ආවද මන්දා.... ඒත් ඉවරයක්‌ නැහැ.... රැයක්‌ දවාලක්‌ නෑ... ඔබ සිහිවන තත්ත්පරයක්‌ තත්ත්පරයක්‌ පාසා මගේ ඇස්‌ දෙකෙන් කඳුළු කැට කඩා වැටෙනවා.... හදවත ඉකිබිඳිනවා....

අනේ... මගෙන් වෙන්ව යන්න එපා... හැබැහින් එන්න බැරිනම් අඩුම ගානේ කාටත් හොරෙන් සුළඟ එක්‌ක ඔයාගේ සුවඳ එවන්න... ඔයා මා එක්‌ක ඉන්නවා වගේ දැනේවී... මට ඔයා නැතුව ඉන්න බෑ... මා පැතූ සිනාව.... අද කෝ... මායාවක්‌ වගේ... මේ දුක මට දෙන්න....මගෙන් පළිගන්න මම කළ වරද මොකක්‌ද....

ඉතාම වේදනාබර ගීයක්‌..... නිරෝෂාගේ හඬ... හැබෑ ශෝකාකූල බවකින් යුක්‌තයි... ඒ හඬට ඔබින ගී තනුව.... සංගීතය වගේම රොඩ්නිගේ පදමාලාව... විරහ වේදනා විඳින්නන්ගේ හදවත් ඉතා තදින්ම වෙලාගන්නා බවට සැකයක්‌ නැහැ.



Source: